Friday, 20 September 2019 10:04

අකිල ධනංජයට වසරක තහනමක්

ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු තුරුම්පුව වන අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් නීතිවිරෝධී බවට යළිත් තහවුරු වීම නිසා ඔහුට වසරක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. අයි.සී.සී.යේ නියමය පරිදි ඔවුන්ගේ වියදමෙන් පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයට භාජනය කරනු ලැබූවේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුර විනිසුරුවරුන් විසින් පැමිණිලි කරනු ලැබීමෙන් පසුවය.

එහි ප්‍රතිඵල අනුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නීතිවිරෝධී බවට තහවුරු වී තිබේ. ගාලු ටෙස්ට් තරගයේ නවසීලන්ත ඉනිම් 2දීම අකිලගේ පන්දු 6ක් සැක සහිත බවට විනිසුරුවරුන් සිය වාර්තාවෙන් පෙන්වා දී තිබිණ.

කැමරා කාච 24 ක් උපයෝගි කර ගනිමින් මේ පරීක්ෂණය සිදුවූ අතර එහිදී අකිල විසින් යවනු ලැබූ පන්දු 18කින් සාමාන්‍ය පන්දු යැවීමේ ඇතැම් ඉරියව් අංශක 17 දක්වා පරාසයකට විහිදී ගොස් ඇතැයි එම වාර්තාවේ සඳහන් වී තිබේ. ඉන් පන්දු දෙකක් අයි.සී.සී. නීති රෙගුලාසිවලට අනුව සීමා කර ඇති අංශක 15 සීමාව ඉක්මවා යන බව ද ඉන් පෙන්වා දී තිබේ. මෙම වාර්තාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව චලන පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්ඩ්‍රියා කටි විසින් නිරීක්ෂණය කරනු ලැබීමෙන් පසුව තහවුරු කර ඇතැයි වාර්තා වෙයි.

25 හැවිරිදි අකිල ධනංජයගේ පන්දු යැවීම සැක සහිත බවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී චෝදනා එල්ලවූ දෙවැනි අවස්ථාව මෙය වූ අතර ඔහුට පළමුවරට චෝදනා එල්ලවූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එංගලන්තයට එරෙහිව පල්ලේකැලේ ‍පැවැති ටෙස්ට් තරගයේදිය. අයි.සී.සී. නීතිරෙගුලාසියට අනුව වසර දෙකක් ඇතුළත යම්කිසි පන්දු යවන්නකු එවැනි චෝදනාවකට වරදකරුවකු වන්නේ නම් ඔහුට වසරක තරග තහනමකට මුහුණ දීමට සිදුවන අතර අකිල ධනංජය මාස දහයක් ඇතුළත එම වරදට දෙවතාවක්ම හසුවීමෙන් මෙම තරග තහනමට ලක්වීමට සිදුවී තිබේ. ඔහු පළමුවරට මෙම චෝදනාවට හසුවූ අවස්ථාවේදී ද ඉන්දියාවේ චෙන්නායි නුවරදි පරීක්ෂණයකට පෙනී සිටි අතර එහිදී සිය නිවැරදිතාව තහවුරු කිරීමෙන් යළි ක්‍රිකට් පිටියට එක්වීමේ අවස්ථාව උදා කර ගත්තේය.

අකිලගේ තරග තහනම 2020 වසරේ අගෝස්තු මාසයේ 29 වැනිදා දක්වා බල පැවැත්වෙයි. මේ දක්වා ටෙස්ට් තරග 6කදී කඩුලු 33ක් ද, එක්දින තරග 36කදී කඩුලු 51ක් ද, විස්සයි20 තරග 22කදී කඩුලු 22ක් ද බිඳ දැමීමට අකිල සමත්වී ඇත.

(Dinamina)

Sports News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website