Monday, 28 October 2019 10:11

වෝනර්ගේ උපන්දින ශතකයෙන් ශ්‍රී ලංකාවට විස්සයි20 දරුණුතම පරාජය

විස්සයි20 තරග බිමේ ශ්‍රී ලංකාවට දරුණුතම පරාජය උරුම කරදුන් සත්කාරක ඔස්ට්‍රේලියාව ඊයේ ඇඩිලේඩ් නුවර පැවැති පළමු විස්සයි20 තරගය ලකුණු 134කින් ජයගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගත් නායක ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට අභියෝගයක් වන ආකාරයේ පිතිහරඹයක් දියත් කළ ඔස්ට්‍රේලියානු පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 233ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ රැස් කිරීමට හැකිවූයේ කඩුලු 9කට ලකුණු 99ක් පමණි. එය ශ්‍රී ලංකා පිල වසර 2017දී කටක් නුවරදී ඉන්දියාව හමුවේ ලකුණු 93කින් පරාජය වීමෙන් පසුව ලද දැවැන්තම පරාජය වූ අතර ඔස්ට්‍රේලියාව විස්සයි20 තරගයකදී ලකුණුවලින් ලැබූ ඉහළම ජයග්‍රහණය ද විය.

ඔස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඊයේ දිනයට යෙදී තිබුණු සිය 33 වැනි උපන්දිනය විශිෂ්ට පිතිහරඹයකින් සමරමින් විස්සයි20 තරග දිවියේ ඔහුගේ පළමු ශතකය වාර්තා කිරීමට ඊයේ සමත්විය. ඔහු ආරොන් ෆින්ච් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 122ක සම්බන්ධතාවක් ද, ග්ලෙන් මැක්ස්වෙල් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 107ක සම්බන්ධතාවක් ද ගොඩනගමින් නොදැවී ලකුණු 100ක් රැස් කළේය. පන්දු 56කින් වාර්තාවූ ඔහුගේ ශතකයට හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වූ අතර පන්දු 36කදී ලකුණු 64ක් රැස් කළ ෆින්ච්ගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. පළමු කඩුල්ල ලකුණු 122දී බිඳ වැටීමෙන් පසුව වෝනර් හා එක්වූ මැක්ස්වෙල් ලකුණු 62ක් රැස් කළේ පන්දු 28කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

ලසිත් මාලිංග සමග පන්දු යැවීම ආරම්භ කළ කසුන් රාජිතගේ ඕවර 4න් ලකුණු 75ක්ම උදුරා ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත්වූයේ ඔහු යැවූ ඉනිමේ 5වැනි ඕවරයෙන් ලකුණු 21ක් ද, 10 වැනි ඕවරයෙන් ලකුණු 25ක් ද ලබා ගනිමිනි.

ලකුණු 234ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 5ම බිඳ වැටුණේ ලකුණු 50ක් ඇතුළතය. කුසල් ජනිත් පෙරේරා (ලකුණු 16) සහ දසුන් ශානක (ලකුණු 17) ඉනිම ගොඩනැගීමට දැඩි උත්සාහක නිරතවූ වත් එය සාර්ථක නොවීය. ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ( ධනුෂ්ක ගුණතිලක) සහ තුන්වැනි කඩුල්ල (භානුක රාජපක්ෂ) බිඳ වැටුණේ පැට් කමින්ස් යවනු ලැබූ පිට පිට පන්දු දෙකකදීය. ශ්‍රී ලංකා ඉනිමේ 17 වැනි ඕවරය යැවූ පාදඟ පන්දු යවන ඇඩම් සම්පා එම ඕවරයේදී කඩුලු 2ක්ම දවාලූ අතර ඔහුගේ ඕවර 4දී කඩුලු 3ක් දවාලූයේ ලකුණු 14කටය.

දෙපිල අතර දෙවැනි විස්සයි20 තරගය ලබන 30දා බ්‍රිස්බේන් නුවරදී පැවැත්වෙයි.

ඔස්ට්‍රේලියාව - 233/2 (ඕවර 20) ඩේවිඩ් වෝනර් නොදැවී 100, ආරොන් ෆින්ච් 64, ග්ලෙන් මැක්ස්වෙල් 62යි.

ශ්‍රී ලංකාව - 99/9 (ඕවර 20) දසුන් ශානක 17, කුසල් ජනිත් 16 ( ඇඩම් සම්පා 14/3, මිචෙල් ස්ටාක් 18/2, පැට් කමින්ස් 27/2)


(Dinamina)

Sports News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website