Friday, 01 November 2019 11:21

තරුණ ක්‍රීඩකයන්ගේ විශ්වාසය ඉහළ දැමීමට අද තරගය ජයගැනීම මාලිංගගේ අරමුණයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන්ගේ විශ්වාසය ඉහළ දැමීමට අද (1) ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් නුවර පැවැත්වෙන තුන්වැනි හා අවසන් විස්සයි20 තරගය ජයගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පිලේ නායකයා එසේ කීවේ පෙරේදා බ්‍රිස්බේන් නුවරදී ඔස්ට්‍රේලියාව හමුවේ දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9ක පරාජයක් අත්විඳීමෙන් පසුවය.

සත්කාරක ඔස්ට්‍රේලියාව තරග 3කින් සමන්විත මේ තරගාවලිය දැනටමත් 2-0කින් ජයගෙන සිටින අතර අද තරගයත් ජයගෙන පූර්ණ ජයග්‍රහණයක් අත්කරගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

‘එකම සුබවාදී කරුණ ලබන වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියත් ඔස්ට්‍රේලියාවේදිම පැවැත්වීමයි. ඒ නිසා මේ තත්ත්වයට හුරුවීමෙන් අපේ තරුණ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දස්කම් පරීක්ෂාවට ලක් කරගත හැකියි. මේක තරුණ කණ්ඩායමක්. ඔවුන්ට විශ්වාසය ඇති කිරීමට අපි ඊළඟ තරගය ජයගත යුතුයි.’ මාලිංග අධිෂ්ඨානශීලීව එසේ කීවේය.

පිතිකරුවන් මීට වඩා වගකීමෙන් ක්‍රීඩා කළ යුතු බව දෙවැනි තරග‍යේ පරාජය ගැන සිහිපත් කරමින් ඔහු එසේ පැවැසීය.

‘ඔස්ට්‍රේලියාව කියන්නේ ශක්තිමත් කණ්ඩායමක්. ඒ වගේ පිතිහරඹ ලැයිස්තුවකට අපේ ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් නෑ. බලාපොරොත්තු වුණු ලකුණු ප්‍රමාණය අපි රැස් කළේ නෑ. පිතිකරුවන් මීට වඩා වගකීමක් ගන්න ඕනේ. ඔවුන්ගේ පහරවල් තෝරගැනීම හොඳ මට්ටමක තිබුණේ නෑ. ඉනිමේ මැද හරියේදි අපිට කඩුලු අතර සම්බන්ධතා ඇතිකරගන්නත් බැරිවුණා. අපි අවස්ථාවට අනුව ක්‍රීඩා කළේ නෑ.’ ලසිත් මාලිංග දිගින් දිගටම සිය පිතිකරුවන්ට දොස් පැවරුවේය.

‘ඉදිරිපෙළ පිතිකරුවන්ට පන්දුවට පහරදීමට තිබුණේ ඕවර විස්සක් පමණයි. ඒ වගකීම අපි ඉටු කළේ නෑ.’ ඔහු කීවේය. දෙපිල අතර ඇඩිලේඩ් නුවර පැවැති පළමු තරගයේදි ශ්‍රී ලංකා ඉනිම ලකුණු 99කට සීමා වූ අතර වෙනස්කම් තුනක් සමග ක්‍රීඩා කළ දෙවැනි තරගයේදි රැස් කළේ ලකුණු 117ක් පමණි.

මේ තරග 2දිම ඔස්ට්‍රේලියානුවන්ගේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබාදුන්නේ පන්දු යවන්නන්ය.

‘සිය වගකීම කුමක්දැයි පන්දු යවන්නන් හොඳින් දැන සිටියා. ඔවුන් අපිට තරගය පහසු කළා.’ දෙවැනි තරගයෙන් පසුව ඔස්ට්‍රේලියානු පිලේ නායක ආරොන් ෆින්ච් එසේ කීවේය.

‘ස්ටීව් හා ඩේව් කියන්නේ ලෝක පූජිත පිතිකරුවන් දෙදෙනෙක්. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම මුහුණුවරකදීම ඉදිරියෙන් සිටිනවා. ඔවුන් දෙදෙනා ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවූ එකතුව බැලුවොත් එය ඔවුන්ට දැනුම අතින් ඉහළ මට්ටමක සිටීමට ඉවහල් වී තිබෙන බව පෙනෙනවා.’ දෙවැනි තරගයේදි නොදැවී අර්ධ ශතක රැස් කරමින් ඔස්ට්‍රේලියානු පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගිය සිය ප්‍රබලතම පිතිහරඹ තුරුම්පු යුගලය ෆින්ච්ගේ පැසසුමට ලක්විය.

‘අපේ ඉලක්කය ජයග්‍රහණය පමණයි. නිවැරැදි දිශාවකට කණ්ඩායම රැගෙන යන ගමන් එකිනෙකට වෙනස් පිතිකරුවන් අතර සම්බන්ධතා ගොඩ නැගීමත් ඉතා වැදගත් වෙනවා.’ ඔහු කීවේය.

(Dinamina)

Sports News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website