Wednesday, 13 March 2019 10:30

බෝයිං යානා මගී ප්‍රවාහනයෙන් ඉවත් කරන්න යුරෝපා සංගමයෙත් සහාය

ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් බෝයිං 737 Max 8 යානාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීමෙන් පසු එම ගුවන් යානා නිපදවන අමෙරිකානු සමාගම ගැටලු රැසකට මුහුණදෙමින් සිටියි.

ඒ එම යානා මගී ප්‍රවාහනයෙන් ඉවත් කිරීමට යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් කිහිපයක් ගත් තීරණය අනුවය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් දැඩි තීරණයක පසුවන අමෙරිකාව පවසන්නේ බෝයිං 737 යානා සේවයෙන් ඉවත් කිරීමට කටයුතු නොකරන බවය.

මේ අනුව 737 Max 8 වර්ගයේ ගුවන් යානා මගී ප්‍රවාහනයෙන් තාවකාලිකව ඉවත්කිරීමටත්, ඒවා සඳහා සිය ගුවන් කලාපය වසා දැමීමටත් බොහෝ රාජ්‍යයන් ගත් තීන්දුවට යුරෝපා සංගමයද සහය දක්වා ඇත.

යුරෝපා සංගමය මේ දැඩි තීන්දුවට එළඹී ඇත්තේ දෝෂයක් හේතුවෙන් නෝවීජියානු ගුවන් සමාගමට අයත් බෝයිං 737 Max 8 යානාවක් ආපසු ස්ටොක්හෝම් ගුවන්තොටුපොල වෙත හරවා එවීමට සිදුවීමත් සමඟය.

මගී ආරක්ෂාව සළකා මෙම පියවර ගත් බවත් ඒ බව නිවේදනය කරමින් සංගමය පවසා ඇත.

මේ අතර ඊට පෙර චීනය, බ්‍රිතාන්‍යය, ඉන්දුනීසියාව, ඉතියෝපියාව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල් ගත් තීන්දුවට ඉන්දියාවේද සහය හිමිව ඇත.

තවද ඒ වර්ගයේ යානා සඳහා සිය ගුවන් කලාපය මුලුමනින්ම තහනම් කිරීමටත් බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් කිහිපයක්ම තීන්දු කර තිබුණි. 

බෝයිං 737 Max-8 ගුවන් යානය ගුවන් ගමන්වලට අලුතින් එක් වූ එකක් වන අතර එය වාණිජමය වශයෙන් භාවිතයට එක් වූයේ 2017 වසරේ සිටය.

එහෙත් මාස 5ක කාලයක් තුළ බෝයිං 737 Max 8 නමැති නවතම මාදිලියට අයත් ගුවන් යානා දෙකක් හදිසි අනතුරුවලට ලක්ව බොහෝ පිරිසක් මියයාම හේතුවෙන් එම යානා පිළිබද ලොව පුරා සැක සහිත තත්ත්වයක් මතුව ඇත.

(අද දෙරණ)

World News

Stats

There are 28607 listings, 863 categories and 102 owners in our website