Saturday, 13 April 2019 07:52

විකිලීක්ස් සම නිර්මාතෘ අසාන්ජ් ඇමෙරිකාවට පිටුවහල් කිරීමක්?

ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණය ලබමින් සිටියදී පෙරේදා (11දා) මෙට්‍රොපොලිටන් පොලීසියේ අත්අඩංගුවට පත්වූ විකිලීක්ස් වෙබ් අඩවිය් සම නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ඇමෙරිකාවට පිටුවහල් කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

තමාව, ස්වීඩනයට පිටුවහල් කිරීම වළකාලීමට ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ වසර 7ක පමණ කාලයක් රැඳී සිටි අතර, ඔහුට එරෙහිව ලිංගික අපයෝජන චෝදනාද පැවතුණත්, පසුව ඒවා ඉවත්කර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය රහස් විකිලීක්ස් වෙබ් අඩවියේ පළ කිරීම නිසා ඇමෙරිකාව ඔහුව තම රටට පිටුවල් කරන ලෙස අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කර තිබුණු අතර, එම වෙබ් අඩවිය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ට තර්ජනයක් බවත්, එය ආඥාදායකයන් සමග එක්ව කටයුතු කරන බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාද වරක් පවසා තිබුණි.

මේ අතර, අසාන්ජ් අධිකරණයට භාරවීමට අපොහොසත් වීම නිසා ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලීසිය පැවසීය. එමෙන්ම, ඔහු දිගින් දිගටම ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කළ නිසා ඔහුට ලබාදී තිබූ රැකවරණය ඉවත්කර ගත් බව ඉක්වදෝර ජනපති ලෙනින් මොරේනෝ පවසා තිබුණි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව අදහස් දක්වමින් විකිලීක්ස් පැවසුවේ අසාන්ජ්ට ලබාදී තිබූ දේශපාලන රැකවරණය ඉවත් කිරීමට ඉක්වදෝර් බලධාරීන් ගත් ක්‍රියාමාර්ගය නීතිවිරෝධී වන අතර, එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවය.

(අද)

World News

Stats

There are 28621 listings, 863 categories and 102 owners in our website