Tuesday, 06 August 2019 07:10

ඉන්දියාව කාශ්මීරයට විශේෂ තත්ත්වයක් දුන් වගන්තිය ඉවත් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉන්දීය පාලිත කාශ්මීරයට විශේෂ තත්ත්වයක් දෙනු ලබන කොටස ඉන්දීය ආණ්ඩුව විසින් අහෝසි කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුව තුළ කෝපය පළවීමට ද හේතු වී තිබේ.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වෙනි වගන්තිය මගින් මුස්ලිම් බහුතරයක් වෙසෙන අදාළ ප්‍රාන්තයට සුවිශේෂී ස්වයං පාලන බලයක් දී ඇත. ඉන්දියාව සහ ඉන්දීය පාලිත කාශ්මීරය අතර පවතින සම්බන්ධය අර්ථ නිරූපනය කරනු ලබන්නේ ද අදාළ වගන්තිය මගිනි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පිහිටි මතභේදයට තුඩු දී ඇති එම කලාපයට දෙරටම හිමිකම් කියති. නමුත් ඉන්දියාව සහ පාකිස්තානය විසින් කාශ්මීර කලාපයේ කොටස් වෙන්ව පාලනය කරනු ලබයි.

ජම්මු- කාශ්මීරයට විශේෂ තත්ත්වයක් දී තිබු වගන්තිය ඉවත් කිරීමට ඉන්දියාව ගත් තීන්දුව හෙළා දකිමින් පාකිස්තානය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් "ප්‍රතිරෝධය දැක්වීම සඳහා" ගත හැකි සියලුම විකල්ප මාර්ග වෙත යොමු වන බවය.

"ඉන්දියාව, කලාපීය ස්ථාවරත්වයට සහ සාමයට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන දරුණු ක්‍රීඩාවක යෙදී සිටිනවා," යැයි පාකිස්තානයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ෂා මෙහ්මූද් කුරේෂි සඳහන් කළේය.

ඉහත කී වගන්තිය අවලංගු කිරීමට ගත් පියවර මගින් ජම්මු-කාශ්මීරයේ නොසන්සුන්කාරී වාතාවරණයක් හට ගනු අපේක්ෂා කෙරේ.

අදාළ තීරණයට එළැඹීමට පෙර ඉන්දීය පාලිත කාශ්මීරය වෙත ඉන්දීය හමුදා භටයන් දහස් ගණනක් යවනු ලැබූ අතර සංචාරකයන්ට ප්‍රදේශයෙන් ඉන් ඉවත් වන ලෙසට දැනුම් දුණි.

ඉන්දීය පාලනයට එරෙහිව එහි පවතින කැරලි දශක තුනක කාලයක් පුරා දිව යයි. එකී ගැටුම්වලට හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව දස දහස් ගණනකි.

ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අම්ත් ෂා විසින් අදාළ පියවර පාර්ලිමේන්තුවට හඳුන්වා දෙනු ලැබුවේ විපක්ෂයේ දැඩි විරෝධය හමුවේය. ඊට ජනාධිපතිවරයාගේ අත්සන යොදනු ලැබූ වහාම එය නීතිගත වනු ඇතැයි ඔහු එහිදී පැවසීය.

කාශ්මීරය: පාකිස්තානය ඉන්දියාවට අනතුරු අඟවයි
"පාකිස්තානය හුදෙකලා කිරීමට ඉන්දියාව කටයුතු කරනවා"
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවතිය හැකි යැයි අමාත්‍ය ෂා පවසා ඇතත්, ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් උභය පාර්ශවීය පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රණ සභාවක ඡන්දයක් නොපැවැත්වෙනු ඇත.

ඉහත කී පියවර නිවේදනය කරනු ලැබීමත් සමග නීති සහ අධිකරණ අමාත්‍යංශය විසින් යෝජිත වෙනස්කම්වලට අදාළ කරුණු දැක්වෙන, ජනාධිපති විසින් අත්සන් නොකරන ලද නියෝගයක් නිකුත් කරනු ලැබීය.

අදාළ වගන්තිය අවලංගු කිරීමට ගත් පියවර විශාල වශයෙන් විවේචනයට ලක්ව ඇති අතර ඇතැම් නීති විශාරදයන් විසින් එය හඳුන්වනු ලබන්නේ ව්‍යවස්ථාවට එල්ල කෙරුණු ප්‍රහාරයක් ලෙසිනි.

අදාළ නීති ප්‍රතිපාදනය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බවට පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2019 මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ප්‍රතිඥා දී තිබිණි. මැයි සහ ජුනි කාලය තුළ පැවති මහමැතිවරණයෙන් පාලක භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලැබීය.

370 වෙනි වගන්තිය මගින් ඉන්දීය පාලිත ජම්මු කාශ්මීරයට තමන්ගේම ව්‍යවස්ථාවක්, ධජයක් දරාගැනීමේ හැකියාව මෙන්ම විදේශ සබඳතා, ආරක්ෂාව සහ සන්නිවේදන කටයුතු හැර සෙසු සියලුම අංශ සම්බන්ධයෙන් ස්වාධීන බලතල ලබා දී තිබිණි.

අදාළ පියවර මගින් ඉන්දියාව භූමියක් අල්ලා ගනු ලබන හමුදාවක් බවට වහාම පත්ව ඇතැයි ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ හිටපු මහඇමතිවරිය මෙහුබූබා මුෆ්ති කියා සිටියාය.

"ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරුම දිනය ලෙස අද සටහන් වෙනවා" යනුවෙන් ඇය නිකුත් කළ ට්විටර් පනිවුඩයක දැක්වේ. එමෙන්ම ආණ්ඩුව "ඒකපාර්ශ්විකව ගත් තීන්දුව නීතිවිරෝධී මෙන්ම ව්‍යවස්ථාවට පටහැනි" බවද ඇය එහි සඳහන් කර තිබේ.

අදාළ පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට පැය කිහිපයකට පෙර මෙහුබූබා මුෆ්ති ඇතුළු හිටපු මහඇමතිවරුන් දෙදෙනෙකු නිවාස අඩස්සියට ගැනිණි.

ප්‍රාන්තය තුළ මහජන ඒකරාශිවීම් තහනම් කරනු ලැබ ඇති අතර ජංගම දුරකතන සබඳතා සහ අන්තර්ජාල පහසුකම් සීමා කර ඇත.

ඉන්දියාව සහ පාකිස්තානය යන දෙරටම න්‍යෂ්ටික බලවතුන්ය. හිමාලය ආශ්‍රිත මේ කලාපය මුල් කර ගනිමින් ඔවුන් දෙවතාවක් යුද වැදී ඇත.

(BBC)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website