Saturday, 10 August 2019 10:05

කාශ්මීරය: ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුමේ ඉතිහාසය

න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාව සහ පාකිස්තානය දෙවරක් යුද වැදී තිබේ. එසේම කාශ්මීරය මුල් කර ගෙන දෙරට අතර විටින් විට යුද උණුසුම ඉහළ යයි. මේ, කාශ්මීරය ගැන දෙරට අතර ඇති ගැටලුව සහ එහි ඇරඹුම ගැන කෙරෙන පසු විපරමකි.

ගැටුමේ ඉතිහාසය:
කාශ්මීරය යනු ජනවාර්ගික වශයෙන් විවිධත්වයක් ඇති හිමාල කලාපයකි. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 86,000කි. එම ප්‍රදේශය දර්ශනීය ජලාශ, තෘණ භූමි, සහ හිමෙන් වැසුණු කඳු ශිඛරවලින් ද සමන්විතය.

ඉන්දියාව සහ පාකිස්තානය 1947 අගෝස්තු මාසයේ දී නිදහස දිනා ගනු ලැබීය. නමුත් ඊට පෙර සිට ම කාශ්මීර කලාපය උණුසුම් මාතෘකාවක් විය.

ඉන්දීය නිදහස් පනත (Indian Independence Act) යටතේ සඳහන් වූ 'වෙන්වීමේ සැලැස්ම' අනුව ඉන්දියාව හෝ පාකිස්තානය අතරින් තමන් කැමති රටක් සමග එක් වීමේ නිදහස කාශ්මීරයට හිමි විණි.

එවක ප්‍රාදේශීය පාලකයා (maharaja) වූ හරි සිං මුලින් ම කැමැත්ත දැක්වූයේ ස්වාධීනත්වය ලබා ගැනීමටය.

නමුත් 1947 ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාව සමග එකතු වීමට කාශ්මීර පාලකයා තීරණය කළේ, පාකිස්තාන ජන කොටස් වලින් සිදු වන ආක්‍රමණ වළක්වාලීමට, ඉන්දියාව දුන් සහයෝගයට ප්‍රති උපකාරයක් වශයෙනි.

ඒ සමගම දෙරට අතර යුදමය තත්ත්වයක් ඇතිවිය. එය සමනය කිරීමට, ඉන්දියාව එක්සත් ජාතීන්ගේ පිහිට පැතීය.

ජනමත විචාරණයක් පවත්වා තමන් එක් වීමට කැමති ඉන්දියාව සමග ද නැතහොත් පාකිස්තානය සමග ද යන්න තීරණය කිරීමට කාශ්මීරය ට අවස්ථාව දිය යුතු බව එක්සත් ජාතීන් නිර්දේශ කළේය.

නමුත් ජනමත විචාරණය පැවැත්වීමට පෙර කාශ්මීර කලාපය අවි මුක්ත කලාපයක් කිරීමට දෙරට ම එකඟ නොවිණි.

1949 ජුලි මාසයේදී ඉන්දියාව සහ පාකිස්තානය සම්මුතියකට එළැඹිණි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ නිර්දේශය අනුව සටන් විරාම රේඛාවක් ඇති කිරීමට දෙරටම එකඟ විණි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර උණුසුම උග්‍ර අතට
එමගින් එම කලාපය කොටස් දෙකක ට බෙදුණි.

1965 දී දෙරට අතර නැවතත් යුද ගිනි ඇවිලිණි.

1999 දී යළි ඉන්දීය හමුදාව සහ පාකිස්තානයේ සහය ලත් කැරලි කණ්ඩායම් අතර දරුණු ගැටුම් ඇති විය. ඒ වනවිට තමන් න්‍යෂ්ටික බලවතුන් බව දෙරටම ප්‍රකාශයට පත් කර තිබිණි.

තමන්ට කාශ්මීරයේ සම්පූර්ණ හිමිකාරීත්වය ලැබිය යුතු බව වර්තමානයේ දෙරට ම පවසති. නමුත් ඔවුන් ඇත්තටම පාලනය කරනු ලබන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් කලාප පමණි. එම කලාප 'පාකිස්තාන පාලිත' සහ 'ඉන්දීය පාලිත' වශයෙන් හඳුන්වති.

ඉන්දීය පාලිත කලාපයේ නිතරම ගැටුම් ඇති වන්නේ ඇයි?
ඉන්දීය පාලනයට එරෙහිව ඉන්දීය පාලිත කලාපය තුළ වසර තිහක් පුරා ආයුද සන්නද්ධ කැරැල්ලක් පවතී. ඒ හේතුවෙන් දහස් ගණනක් මිය ගොස් ඇත.

කාශ්මීරයේ සිටින බෙදුම්වාදී කැරළිකරුවන් ට පාකිස්තානයේ සහය ලැබෙන බව ට ඉන්දියාව චෝදනා කළ ද පාකිස්තානය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

නමුත් තම පාලනය යටතේ පවතින කලාපයට ලබා දී තිබූ විශේෂ තත්ත්වය අගෝස්තු 5 වෙනිදා හදිසියේ ම ඉන්දියාව විසින් ඉවත් කිරීමත් සමග නැවතත් ගැටුමක් ඇති වේ යැයි බියක් ඇති ව තිබේ.

ඉන්දියාවේ පාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂය එම පියවර ගන්නා බව ඔවුන්ගේ 2019 මැතිවරණ ප්‍රතිපත්ති ලියවිල්ලේ සටහන් කර තිබිණි.

හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වෙනි වගන්තිය ට දීර්ඝ කාලයක සිට විරෝධය දක්වමින් සිටියේය.

ඉන්දියාව ජම්මු-කාශ්මීරයට තිබූ හිමිකම් ඉවත් කරයි
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වෙනි වගන්තිය මගින් මුස්ලිම් බහුතරයක් (60%) වෙසෙන අදාළ ප්‍රාන්තයට සුවිශේෂී ස්වයං පාලන බලයක් දී තිබිණි. ඉන්දියාව සහ ඉන්දීය පාලිත කාශ්මීරය අතර පවතින සම්බන්ධය අර්ථ නිරූපනය කරනු ලබන්නේ ද අදාළ වගන්තිය මගිනි.

අදාළ වගන්තිය අනුව ඉන්දීය පාලිත කාශ්මීරයට යම් ස්‌වයං පාලන බලතල දී ඇත. ඒ අනුව වෙනම ව්‍යවස්ථාවක්, ධජයක් වැනි බලතල තිබිණි.

නමුත් විදේශ කටයුතු, ආරක්ෂාව සහ තොරතුරු හුවමාරුව වැනි ක්ෂේත්‍ර නව දිල්ලි පාලනය යටතේ පැවතිණි.

නව දිල්ලිය ගත් තීරණයත් ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර සිටම, ඉන්දීය පාලිත කාශ්මීරයේ දුරකතන සබඳතා සහ අන්තර්ජාල පහසුකම් අවහිර කර තිබිණි.

එසේම ජන රාශි තහනම් කළේය. ඉන්දීය හමුදා භටයන් දහස් ගණනක් එම කලාපයේ ස්ථාන ගත කර තිබේ.

ත්‍රස්ත තර්ජනයක් ඇතැයි පවසමින් සංචාරකයන්ට කාශ්මීරයෙන් ඉවත් වන ලෙස දැන්වීය.

ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිවරු දෙදෙනෙක් මේ වන විට නිවාස අඩස්සියේ තැබිණි.

මේ අතර කාශ්මීරයට විශේෂ තත්ත්වයක් දී තිබු වගන්තිය ඉවත් කිරීමට ඉන්දියාව ගත් තීන්දුව "නීතිවිරෝධී" බව කියා සිටි පාකිස්තානය, ඊට "වීරෝධය දැක්වීම සඳහා" ගත හැකි සියලුම විකල්ප මාර්ග වෙත යොමු වන බවත් පවසයි.

අනතුරුව ඉන්දියාව සමග පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා පහත හෙලු අතර වෙළෙඳ කටයුතු නවතා දමන ලදී.

පාකිස්තානය ගත් තීරණය පිළිබඳව තමන් "කනගාටු" වන බව පවසන ඉන්දියාව "370 වෙනි වගන්තිය" පිළිබඳ කරුණ තම අභ්‍යන්තර ගැටලුවක් බව කියා සිටී.

කාශ්මීර කලාපය කුමන රට සමග එකතු විය යුතු ද යන කරුණ සම්බන්ධයෙන් එහි ජනතාව තුළ දැඩිව එල්බ ගත් විවිධ මත ඇත.

බොහෝ දෙනෙක් ඉන්දියාව මගින් කෙරෙන පාලනයක ට අකැමැතිය. ඔවුන් පවසන්නේ ස්‌වයං පාලනය හෝ පාකිස්තානය සමග එක් වීමක් සිදු විය යුතු බවය.

ආගම ඊට පාදක වන එක් හේතුවක් ලෙස සැලකේ. ජම්මු සහ කාශ්මීරයේ 60% පමණ මුස්ලිම් ය. ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් සහිත එකම ප්‍රාන්තය ජම්මු සහ කාශ්මීරය වේ.

භාරතීය ජනතා පක්ෂ රජය ගත් තීරණය ඇතැම් කණ්ඩායම් විවේචනය කරති. ඔවුන් පවසන්නේ එය, ප්‍රාන්තය තුළ ජන සංයුතිය වෙනස් කිරීමට එනම් ප්‍රාන්තයෙන් පිටස්තර ජනතාවට ජම්මු සහ කාශ්මීරයෙන් ඉඩම් මිලදී ගෙන එහි පදිංචි වීමට අවස්ථාව ලබා දීමට ගත් තීරණයක් විය හැකි බවය .

2018 වසරේදී ඇති වූ ගැටුම් වලින් සාමාන්‍ය ජනතාව, ආරක්ෂක අංශ සාමාජිකයන් සහ කැරළිකරුවන් 500ක් පමණ මිය ගියහ.

සාමය පිළිබඳ බලාපොරොත්තු තිබේ ද?

කාශ්මීරයේ දේශසීමාව ලෙස හඳුන්වනු ලබන 'බෙදුම් රේඛාව' (Line of Control) අවට ප්‍රදේශ වල දිගින් දිගට ම සිදු වූ ලේ වැගිරීම් වලින් අනතුරුව ඉන්දියාව සහ පාකිස්තානය 2003 දී සටන් විරාමයකට එකඟ වූහ.

ඉන් අනතුරුව කැරළිකරුවන්ට මුදල් ප්‍රතිපාදන සැපයීමෙන් වැළකී සිටීමට ද පාකිස්තානය පොරොන්දු විය. අවි අත්හරින කැරළිකරුවන්ට පොදු සමාවක් දීමට ඉන්දියාව එකඟ විය.

වර්තමාන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි 2014 බලයට පැමිණියේ පාකිස්තානය කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට පොරොන්දු වෙමිනි. නමුත් ඔහු සාම සාකච්ඡා ගැන ද උනන්දුවක් පෙන්වීය.

නව දිල්ලියේ පැවති නරේන්ද්‍ර මෝදි ගේ දිව්රුම් දීමේ උත්සවයට එවකට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වූ නවාස් ෂරීෆ් ද සහභාගී විය.

ඉන් වසරකට පසු පන්ජාබ් ප්‍රාන්තයේ 'පතන්කොට්' හි පිහිටි ගුවන් කඳවුරකට ප්‍රහාරයක් එල්ල වූ අතර, එය පාකිස්තානයේ සිටින කණ්ඩායම් සිදු කළ බවට ඉන්දියාව චෝදනා කළේය.

ඉන්දීය අගමැතිවරයා 2017 දී පාකිස්තාන අගනුවර පැවැත්වීමට තිබු කලාපීය නායක හමුවකට සහභාගී වීමට නියමිතව සිටි අතර ඔහු එම සංචාරය ද අවලංගු කළේය.

එතැන් සිට දෙරට අතර සාකච්ඡාවන්හි කිසිදු වර්ධනයක් දක්නට නැත.

2019 පෙබරවාරි 14 වෙනිදා සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඉන්දීය භටයන් 40ක් මිය යෑමත් සමග, සාමය පිළිබඳ බලාපොරොත්තු තවත් බොඳවූ තත්වයක් උද්ගත විය.

මෙයින් වසර තිහකට පමණ පෙර ගැටුම් ඇරඹීමෙන් අනතුරුව, ඉන්දීය හමුදා ඉලක්ක කර ගනිමින් කාශ්මීරයේ එල්ල කරන ලද දරුණුතම ප්‍රහාරය ලෙස එය සැලකේ.

එම ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව පැවසුවේ ජාත්‍යන්තරය තුළ පාකිස්තානය තනි කිරීමට "රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගත හැකි සියලු පියවර" ගන්නා බවය.

2019 පෙබරවාරි 26 වෙනිදා ඉන්දියාව විසින් පාකිස්තානයේ ඇතැයි කියැවෙන කැරළිකරුවන්ගේ කඳවුරු ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළේය.

එම ප්‍රහාර වලින් වැඩි හානියක් නොවූ බව පැවසු පාකිස්තානය, ඊට ප්‍රතිචාර දක්වන බවත් කියා සිටියේය. එම තත්ත්වය හමුවේ කලාපයේ යුද උණුසුම වර්ධනය වෙතැයි බියක් ද පළ වෙමින් තිබුණි.

එම සිදුවීමෙන් දිනකට පසු තම ගුවන් සීමාවට පැමිණි ඉන්දීය ප්‍රහාරක යානා දෙකක් බිම හෙලු බව පාකිස්තානය නිවේදනය කළේය. ඔවුන් එක් ගුවන් නියමුවෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුව පසුව නිදහස් කළේය.

ඊළඟට කුමක් වේ ද?

ඉන්දීය පාර්ලිමේන්තුව මේ වන විට පනතක් සම්මත කර තිබේ. ඒ අනුව, ඉන්දීය පාලිත කාශ්මීරය කොටස් දෙකකට බෙදා ඇත. එනම් ජම්මු - කාශ්මීරය සහ 'ලඩක්' වශයෙනි.

'ලඩක්' ගිරි ශිඛර වලින් ගහන ප්‍රදේශයකි. එම කලාප නව දිල්ලියේ පාලනයට යටත්ව පාලනය කෙරෙයි.

'ලඩක්' ප්‍රදේශයේ දේශසීමාව පිළිබඳව ඉන්දියාව සහ චීනය අතරත් මතභේද ඇත. චීනය ඉන්දියාවේ කාශ්මීර් පිළිවෙතට විරෝධය පළ කරයි.

මේ අතර ඉන්දියාවේ තීරණය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ දී අභියෝගයට ලක් කරන බවට සහ එම ගැටලුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යන බවට පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

(BBC)

World News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website