Friday, 16 August 2019 07:52

ගුවන් යානයක් කුරුලු රෑනක ගැටේ: හදිසි ගොඩබෑමකින් මගීන් 23 දෙනෙකුට තුවාල

රුසියානු මගී ගුවන් යානයක කුරුල්ලන් රෑනක් ගැටීමෙන් එම යානය හදිසියේ මොස්කව් නුවර ආසන්නයේ පිහිටි ඉරිඟු වගා බිමකට ගොඩබැස්වීමට සිදුව තිබේ.

මෙම හදිසි ගොඩබැස්වීමේදී පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේ එහි එන්ජිම ක්‍රියාවිරහිතව තිබූ බවට සැක කරන බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

යූරල් ගුවන් සමාගමට අයත් එයාර්බස් 321 මාදිලියට අයත් අදාළ ගුවන් යානය මොස්කව් සිට ක්‍රිමියා නගරය කරා පියාසර කිරීම ආරම්භ කර මඳ වේලාවකින් ලිහිණියන් රෑනක ගැටීමෙන් පසු එන්ජින්වල යාන්ත්‍රික දෝෂයක් හටගෙන ඇත.

රුසියානු රාජ්‍ය මාධ්‍ය මෙය හඳුන්වා තිබුණේ, "ප්‍රාතිහාර්යයක්" ලෙසය.

ගුවන් සමාගම ප්‍රකාශ කළේ, එම ගුවන් යානයට දැඩි හානි සිදුව ඇති අතර එය යළි භාවිතයට ගත නොහැකි බවය. මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරේ.

යානයෙහි ගැටුණු කුරුල්ලන් එහි එන්ජිම තුළට ඇදී ගොස් ඇති බව වාර්තා වන අතර එම අවස්ථාවේ කාර්ය මණ්ඩලය ද ඇතුළුව මගීන් 233 දෙනෙකු සිට තිබිණි. එම අවස්ථාවේ කාර්ය මණ්ඩලය තීරණය කර ඇත්තේ, වහා ම යානය ගොඩබැස්වීමටය.

නම සඳහන් නොකළ ගුවන් මගියෙකු රුසියානු රූපවාහිනී නාලිකාවකට පැවසුවේ, ගුවන් යානය පියාසාර කරවීම ආරම්භ කළ පසු දැඩි ලෙස දෙදරීමට පටන් ගත් බවය.

"ගුවන් යානයේ දකුණු පැත්තේ ලයිට් පත්තු වෙන්න පටන් අරන් තත්පර පහකට පස්සේ මොනව හරි පිච්චෙන සුවඳක් දැනුණා. ඊට පස්සේ ගුවන් යානය ගොඩ බෑවා. ඊට පස්සේ ඒකෙ හිටිය හැමෝම පැනල දිව්වා," ඔහු පැවසීය.

රෝසාවියාට්සියා නමැති ගුවන් ප්‍රවාහන ඒජන්සිය පැවසුවේ, සුකෝව්ස්කි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ඉරිඟු වගා බිමකට ගුවන් යානය ගොඩබැස්වූ බවය.

යානය ගොඩබැස්වීමෙන් පසුව මගීන් ඉන් ඉවත් කෙරුණු අතර, තුවාල ලැබූවන් රෝහල් කරා ගෙන ගොස් තිබිණි. සෙසු මගීන් යළිත් ගුවන් තොටුපළ වෙත ගෙන ගොස් තිබේ.

මෙම අනතුරෙන් තුවාල ලබා රෝහල්ගත කළ මගීන් අතර දරුවන් පස් දෙනෙකු ද සිටින බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

ටාස් පුවත් සේවය සමග අදහස් දක්වමින් යූරල් ගුවන් සේවයේ අධ්‍යක්ෂ ජනරාල් කිරිල් ස්කූරටොෆ් පැවසුවේ, සිය ගමනාන්තය දක්වා යළි ගමන් කිරීමට අවශ්‍ය මගීන් වෛද්‍ය පරීක්ෂණයකින් පසුව වෙනත් ගුවන් යානා වෙත යොමු කරන බවය.

ගුවන් යානාවල කුරුල්ලන් ගැටීම ගුවන් සේවා නිරන්තරයෙන් මුහුණ දෙන ගැටලුවකි. ඇමෙරිකාවේ පමණක් සෑම වසරකදී ම එවැනි ගැටීම් දහස් ගණනක් වාර්තා වෙයි. කෙසේ වෙතත්, එවැනි ගැටීම්වලින් ගුවන් යානාවලට හානි සිදුවීම් හෝ ගුවන් අනතුරු වාර්තා වීම දුර්ලභය.

(BBC)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website