Tuesday, 20 August 2019 10:55

නවසීලන්තයෙන් හමු වූ "මිනිසෙකු හා සමාන විශාලත්වයකින් යුත් පෙන්ගුවින්"

මිනිසෙකු හා සමාන විශාලත්වයකින් යුතු පෙන්ගුවින් කුරුල්ලෙකුගේ කොටස් නවසීලන්තයෙන් හමුවී තිබේ.

හමු වී ඇති පොසිල අස්ථි කොටස් අනුව, එම පෙන්ගුවින් උසින් මීටර් 1.6 ක් සහ බරින් කිලෝග්‍රෑම් 80 ක් පමණ වන්නට ඇතැයි සැලකේ.

ඉහත කී පෙන්ගුවින් විශේෂය මීට වර්ෂ මිලියන 56ත් 66ත් අතර පැලියෝසීන යුගයේ ජීවිතව ඇත.

කැන්ටබරි කෞතුකාගාරය එම සත්ත්වයා නම් කර ඇත්තේ 'යෝධ පෙන්ගුවින් (Monster penguin)' යනුවෙනි.

දැනට කැන්ටබරි කෞතුකාගාරයේ තබා ඇති වඳව ගිය, යෝධ සත්ත්ව විශේෂ වන ගිරවුන්, උකුස්සන්, වවූලන් සහ මීටර් 3.6ක් පමණ උසැති 'මොආ' නම් කුරුල්ලා අතරට "යෝධ පෙන්ගුයින්" ද එක් කර තිබේ.

මීටරයක් උස වඳවී ගිය යෝධ ගිරවෙක්
පෙන්ගුවින් එතරම් විශාල ඇයි?
කැන්ටබරි කෞතුකාගාරයේ ජ්‍යෙෂ්ඨ භාරකරු වන පෝල් ස්කොෆීල්ඩ් බීබීසීයට පැවසුවේ, "මේ, මෙතෙක් හමුවූ විශාලතම පෙන්ගුවින් විශේෂ අතරින් එකක්" යනුවෙනි. දක්ෂිණ අර්ධ ගෝලයට එම වර්ගය විශේෂ බව ද ඔහු සඳහන් කළේය.

පෙන්ගුවින් මෙතරම් විශාල වන්නට ඇතැයි සැලකෙන්නේ විශාල සමුද්‍ර උරගයින් සාගරයෙන් වඳවී යෑම නිසාය. එනම් ඩයිනෝසෝරයන් පෘථිවි තලයෙන් වඳවී ගිය වකවානුවේදීය.

"අනතුරුව, වසර මිලියන 30ක්, විශාල පෙන්ගුවින් පැවතියා." ස්කොෆීල්ඩ් පවසයි.

දැනට හමුවන විශාලම පෙන්ගුවින් විශේෂය වන 'Emperor Penguin' උසින් මීටර් 1.2ක් පමණ වේ.

"අපි සිතන්නේ, ඒ කාල සීමාවේ, සතුන් වේගයෙන් පරිණාමය වී තිබෙනවා. ඒ කාලයේ නවසීලන්තය අවට ජලයේ උෂ්ණත්වය ඉතාමත් යෝග්‍ය මට්ටමක පැවතුනා. තිබුණු දැන් තිබෙන සෙල්සියස් අංශක 8 උෂ්ණත්වයට සාපේක්ෂව සෙල්සියස් අංශක 25 ආසන්නයේ උෂ්ණත්වයක් " ස්කොෆීල්ඩ් විස්තර කළේය.

විශාල පෙන්ගුවින් ජීවත් වූ කාලයේ, නවසීලන්තය ඔස්ට්‍රේලියාව සමග සම්බන්ධවත් ඔස්ට්‍රේලියාව ඇන්ටාක්ටිකාවට බද්ධව තිබෙන්නට ඇතැයි ද අනුමාන කෙරේ.

අස්ථි කොටස් හමුවූ පෙන්ගුවින් විශේෂය 'crossvallia waiparensis' නම් වේ. එම සත්ත්වයා ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටියා යැයි සැලකෙන 'crossvallia unienwillia' නම් විශේෂයට සමාන කම් දක්වයි. එම පෙන්ගුවින් ගේ පොසිල ඇන්ටාක්ටිකාවේ කැණීම්වලින් හමුවිණි.

'ක්‍රොස්වේලියා පෙන්ගුවින්' විශේෂය පිහිනීමේදී නුතන පෙන්ගුවින් විශේෂ මෙන් නොව, පාද වැඩිපුර යොදා ගෙන ඇතැයි පර්යේෂකයෝ පවසති.

පෙනෙන ආකාරයට ඔවුන් නවසීලන්තය අවට මුහුදේ "විශාල කැස්බෑවන්, කොරල් වර්ග, අමුතු ආකාරයේ මෝරුන් විශේෂ" සමග සහයෝගයෙන් ගැවසී ඇති බව ස්කොෆීල්ඩ් පවසයි.

ඇයි එම සතුන් දැන් නැත්තේ?
විශාල පෙන්ගුවින් විශේෂයන්, දක්ෂිණ අර්ධගෝල සාගරයෙන් වඳ වී ගියේ ඇයි ද යන්න සම්පුර්ණයෙන් පැහැදිලි නැත.

බොහෝ අය පිළිගන්නා න්‍යාය වන්නේ සමුද්‍ර ක්ෂීරපායී සතුන් අතර තරගය ඊට හේතු වන්නට ඇති බවය.

"විශාල පෙන්ගුවින් පරිණාමය වන විට, යෝධ සමුද්‍ර උරගයින් වඳ වෙලා වැඩි කාලයක් නැහැ," නව පර්යේෂණයේ තවත් කතෘවරයෙකු වූ ජෙරල්ඩ් මේයර් බීබීසීයට පැවසීය.

"වසර මිලියන ගණනකට පසුව, දත් සහිත තල්මසුන් සහ සීල් මත්ස්‍යයින් බිහිවන තුරු ඇන්ටාක්ටිකාව සහ නවසීලන්තය අවට එකිනෙකා පරයා යන විශාල සමුද්‍ර ජීවීන් සිටියේ නැහැ."

එම සත්ත්ව විශේෂවල ආගමනයත් සමග විශාල පෙන්ගුවින් වඳවී යන්නට ඇතැයි පෙනෙන්නට ඇති බව පවසන මේයර්, විශාල පෙන්ගුවින් වඳවී ගියේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත හේතු සොයා තවමත් සාකච්ඡා පැවැත්වෙන බව කියයි.

අස්ථි හමූ වූයේ කොහිද?
උතුරු කැන්ටබරි ප්‍රදේශයේ ඇති කැණීම් බිමකින් එම පෙන්ගුවින් විශේෂයේ පාද අස්ථි පසුගිය වසරේ හමු විය. මේ වනවිට ඒවා විදෙස් කණ්ඩායමක් විසින් විශ්ලේෂණය කෙරේ.

"එම කැණීම් භූමිය සුවිශේෂයි. එය කඳු බෑවුමක ඇති ගංගා පත්ලක්," ස්කොෆීල්ඩ් පැවසීය.

1980 දශකයේ සිට මෙම කැණීම් භූමියෙන් විවිධාකාර පොසිල හමුවී තිබේ. එයින් බහුතරයක් සොයාගෙන ඇත්තේ ඉතා කැපවීමෙන් කටයුතු කරන ආධුනික පුරාවිද්‍යාඥයන් විසිනි.

(BBC)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website