සෙනසුරාදා, 31 අගෝස්තු 2019 11:13

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීම ගැන දැඩි විරෝධයක්

වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවන මෙන් අගමැති බොරිස් ජොන්සන් කළ නිර්දේශය එලිසබත් රැජින විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව අගමැතිවරයාගේ ක්‍රියාමාර්ගයට එරෙහිව බ්‍රිතාන්‍ය දේශපාලන සමාජය තුළ දැඩි කෝපය පළවෙමින් පවතී.

ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීමේ (no-deal Brexit) ක්‍රියාවලියට විරෝධය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අගමැතිවරයාගේ දේශපාලන ප්‍රතිවාදීන් දැනටමත් පාර්ලිමේන්තුව අක්‍රිය කර දැමීමට එරෙහිව පියවර ගනිමින් ඇත.

අගමැතිවරයාගේ ක්‍රියාවට එරෙහිව නෛතික අභියෝග එල්ල කෙරෙමින් ඇති අතරවාරයේ, දශ ලක්ෂයකට අධික අත්සන් සහිත මහජන පෙත්සමක් ද ඉදිරිපත් කරනු ලැබ ඇති බව වාර්තා වේ.

අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවන ලෙස එලිසබත් රැජිනට උපදෙස් දෙන ලද්දේ එම සියලු විරෝධතා නොතකා හරිමිනි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභානායකවරයා වන ජේකොබ් රීස්-මොග්( Jacob Rees-Mogg) ප්‍රකාශයක් කරමින්, අගමැතිවරයා විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගය "විධිමත් සහ ව්‍යවස්ථානුකූල" පියවරක් බව කියා සිටියේය.

පාර්ලිමේන්තුව අත්හිටවනු ලැබීමට එරෙහි විරෝධය ඔහු දකින්නේ "අව්‍යාජ නොවන" වැඩ පිළිවෙලක් ලෙසිනි.

කොන්සර්වේටිව් කැරලිකාරීන්ගේ විරෝධය
අගමැති ජොන්සන්ගේ නිර්දේශය අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ලබන සැප්තැම්බර් දහවෙනිදා (10) පටන් සති හයකට අක්‍රිය වේ.

එහි ප්‍රතිවිපාකයක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති සම්පාදනය සඳහා කාලය අහිමි කිරීමක් සිදු කෙරෙන අතර, ලබන මස තිස් එක් වෙනිදා (ඔක්තෝබර් 31) වනවිට ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත්වීම සඳහා ගෙන යමින් පවතින වැඩ පිළිවෙල නතර කිරීමට මන්ත්‍රීවරුන් සඳහා ඇති අවස්ථාව අහිමි කෙරේ.

අගමැති ජොන්සන් පාර්ලිමේන්තුව අත්හිටුවීමට ගත් තීන්දුවට එරෙහිව ඔහු අයත් කොන්සර්වේටිව් පක්ෂය තුළින් පවා දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායකයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන කොන්සර්වේටිව්වාදියකු වන කුක්හැම් සාමිවරයා (Lord Young of Cookham) මේ කාරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පදවියෙන් ඉල්ලා අස්විය.

"අපේ ඉතිහාසයේ ඉතාම තීරණාත්මක මොහොතක පාර්ලිමේන්තුව සතු මූලික කාර්යභාරය යටපත් කර දැමීම අනතුරක්" කුක්හැම් (Lord Young of Cookham) සාමිවරයා කියා සිටී.

අගමැතිවරයාගේ නිර්දේශයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බව කොන්සර්වේටිව් පක්ෂයේ හිටපු අගමැති ජෝන් මේජර් කල්තබාම ප්‍රකාශ කර තිබිණි.

පාර්ලිමේන්තුව අත්හිටවනු ලැබීමට එරෙහිව එල්ල වෙන විරෝධය අද (අගෝස්තු 29) වඩාත් තීව්‍ර මුහුණුවරක් ගන්නා ලද්දේ ,ස්කොට්ලන්තයේ කොන්සර්වේටිව් පක්‍ෂ නායිකා රූත් ඩේවිඩ්සන් (Ruth Davidson) එම නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟය.

 

අගමැතිවරයාට පාර්ලිමේන්තුව අත්හිටුවිය හැකිද?
"ඔව්" බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය පිළිබඳ විද්වතුන් ඊට දෙන පිළිතුරය.

එවැනි ක්‍රියාමාර්ගයකට යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසීමක් අවශ්‍ය නැත.

පාර්ලිමේන්තුව අත්හිටුවීමේ තීන්දුවක් (Prorogation) ගැනීමට රැජිනට (හෝ රජුට) බලය ඇත.

එහෙත් එවැනි තීන්දුවක් ගනු ලබන්නේ අගමැතිවරයාගේ උපදෙස් පරිදිය.

කෙසේවුවද, අගමැති බොරිස් ජොන්සන් විසින් පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙස එලිසබත් රැජිනට උපදෙස් දෙන ලද්දේ, ඔහු දැනට ඉදිරිපත් කර ඇති ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත්වීමේ වැඩ පිළිවෙලට ලේබර් පක්ෂය ඇතුළු විපක්ෂයේ පමණක් නොව, තමා නායකත්වය දෙන කොන්සර්වේටිව් පක්ෂයේත් කැරලිකාර මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් මතුවෙමින් පවතින දේශපාලන පරිසරයක් යටතේය.

අගමැති බොරිස් ජොන්සන්ගේ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ බලයේ සිටින්නේ එක් බහුතර ඡන්දයකින් වන අතර, ඉහත කී විරෝධය හමුවේ අගමැතිවරයා දැඩි අසීරු අඩියක පසුවේ.

එවැනි වාතාවරණයක් යටතේ පාර්ලිමේන්තුව අත්හිටුවීම නිසා මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සැලැස්මක් වීනම් එම අවස්ථාව මග හැරේ.

එසේම ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත්වීම සඳහා අගමැතිවරයා ගෙනයමින් ඇති වැඩපිළිවෙල අවහිර කිරීමටත් මන්ත්‍රීවරුන් සඳහා පැවති අවකාශය එමගින් අහුරා දමනු ලැබිණි.

පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටවනු ලැබීම සාමාන්‍ය කරුණක් වන නමුත්, මෙවර එය අත්හිටවනු ලැබීම පැහැදිලිවම අති විශාල පරිමාණයෙන් මතභේදාත්මක සිද්ධියක් වන බව 'Institute for Government' බුද්ධි මණ්ඩලයේ මැඩී තිමොන්ට්-ජැක් (Maddy Thimont-Jack) පවසයි.

රැජිනට අගමැති ඉල්ලීම ප්‍රතික්ෂේප කළ හැකිද?
මූලධර්මයක් මට්ටමින් ගත්විට,අගමැති පදවියේ සිටින්නා විසින් කරනු ලබන නිර්දේශයක් එලෙසින්ම ක්‍රියාවට නැංවීම කිරීටය විසින් ඉටු කරනු ලැබීම ශතවර්ෂයකට අධික කාලයක් මුල්බැස ගත් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය වේ.

එහෙත් දැනට පවතින විශේෂ දේශපාලන පරිසරය යටතේ අගමැති බොරිස් ජොන්සන් විසින් කරන ලද නිර්දේශය බාර ගැනීමට හෝ බැහැර කිරීමට රැජිනට හැකි විනැයි දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති.

එහෙත් බලයේ සිටින අගමැතිවරයාගේ නිර්දේශයක් රැජින විසින් බැහැර කරනු ලැබීමේ අවකාශයක් නොවීම පවතින 'දේශපාලන යථාර්ථය' වේ.

බදාදා (අගෝස්තු 28) ප්‍රකාශයක් කළ අගමැති ජොන්සන් "මෙම පාර්ලිමේන්තු අත්හිටුවීම ලබන ඔක්තෝබර් දාහතර (14) වෙනිදා නිමවීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුව යළි රැස්වූ විට රැජින ඇයගේ 'රාජාසනයේ කතාව' පවත්වනු ඇතැයි සඳහන් කළේය.

අගමැතිවරයාගේ එම සැලැස්ම අනුව, ලබන ඔක්තෝබර් මාසය නිමවන විට ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත්වීමේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අවහිර කිරීමක් සඳහා මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තරම් කාලයක් නොලැබේ.

එහෙත් යුරෝපා හවුලෙන් ඉවත්වීමේ වැඩ පිළිවෙල සහ පාර්ලිමේන්තුව අත්හිටුවීමේ තීන්දුව අතර සම්බන්ධයක් නැතැයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.

(BBC)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website