Wednesday, 25 September 2019 07:10

අගමැති ජොන්සන් පාර්ලිමේන්තුව අත්හිටුවීම නීතියට පටහැනියි - ශ්‍රේෂ්ඨාධිකරණය

අගමැති බොරිස් ජොන්සන් විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබීම නීතියට පටහැනි බව බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණය අද අඟහරුව (සැප්තැම්බර් 24)තීන්දු කළේය.

අගමැතිවරයා විසින් පසුගිය සැප්තැම්බර් 10 වෙනිදා පාර්ලිමේන්තුව අත්හිටවනු ලද්දේ සති පහක කාලයක් සඳහාය.

බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ, ඔක්තෝම්බර් 31 වැනිදා බ්‍රිතාන්‍යය යුරෝපා හවුළෙන් ඉවත්වීමට (Brexit) නියමිතව තිබියදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය රාජකාරි ඉටුකිරීම වලක්වාලීම වරදක් බවය.

"ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට සිදුවන බලපෑම අති විශාලයි," ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති විනිසුරුවරිය වන හේල් ආර්යාව පැවසුවාය.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටියේ තීන්දු ප්‍රකාරව කටයුතු කිරීම සඳහා ක්‍රියා කරමින් සිටින බවය.

මෙම තත්වය හමුවේ බොරිස් ජොන්සන් අගමැතිධුරයෙන් ඉල්ලා අස්විය යුතු අතර වහාම පාර්ලිමේන්තුව නැවත රැස්විය යුතු යයි මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා සිටිති.

විපක්ෂ නායක ජෙරමි කෝබින් කියා සිටියේ මෙම අධිකරණ තීන්දුව මගින් අගමැතිවරයා "ප්‍රජාතන්ත්‍රවාදයට නින්දා කර" ඇති බව පෙන්නුම් කෙරෙන බවය.

හේල් ආර්යාව තවදුරටත් කියා සිටියේ විනිසුරුවන් 11 දෙනාගේ ම ඒකමතික තීරණය වී ඇත්තේ පාර්ලිමේන්තුව අත්හිටුවීමක් සිදු වී නොමැති අතර අත්හිටුවීමට ගත් තීරණය බල රහිත වන බවය.

එමෙන්ම මින් ඉදිරියට කළ යුත්තේ කුමක්ද? යන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සහ සාමි මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරුන් විසින් තීරණය කළ යුතුව ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති විනිසුරුවරිය ප්‍රකාශ කළාය.

කියවන්න:

අගමැති ජොන්සන් ස්කොට්ලන්ත අධිකරණයක් ඉදිරියේ පරාජය වෙයි
බ්‍රෙක්සිට්: දැන් සිදුවන්නේ කුමක්ද?
මෙම අධිකරණ තීන්දුව පිළිබඳව ප්‍රසාදය පළ කරමින් පාර්ලිමේන්තුව "ප්‍රමාදයකින් තොරව කැඳවිය යුතු" බව සඳහන් කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතානායක ජෝන් බර්කොව්, පාර්ලිමේන්තුව බදාදා (සැප්තැම්බර් 24) යළි කැඳවන බව ඉන් අනතුරුව තහවුරු කළේය.

"හදිසි අවශ්‍යතාවක් සේ සලකා" ඒ වෙනුවෙන් පක්ෂ නායකයන්ගේ අදහස් විමසන බව ද ඊට පෙරාතුව ඔහු කියා සිටියේය.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා පාර්ලිමේන්තුව සති පහකට අත්හිටවනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 10 වැනිදා බ්‍රිතාන්‍ය වේලාවෙන් අලුයම දෙක උදාවීමට පෙරය.

අනතුරුව ඊට එරෙහිව බ්‍රිතාන්‍ය දේශපාලන පක්‍ෂ කිහිපයකට අයත් කණ්ඩායමක්, ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය ඉදිරියට ගිය අතර, එම නෛතික අභියෝගය විභාගයට ගත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය 'අගමැතිවරයාගේ ක්‍රියාව නීතියට පටහැනි' බව පිළිගනිමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එම තීන්දුව ප්‍රකාශයට පත් වුයේ සැප්තැම්බර් 11 වැනිදා ය.

සැලසුම් කර ඇති පරිදි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් 31 වෙනිදා ග්‍රිනිච් මධ්‍යාහ්න වේලාවෙන් රාත්‍රී 11:00 ට ය.

ඉවත්ව යාමේ කොන්දේසි සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමග අලුතින් එකඟතාවකට පැමිණීමට තමන්ට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි. එකඟතාවකට පැමිණීමට නොහැකි වුව ද ඔක්තෝම්බර් 31 වෙනිදා නියත වශයෙන්ම බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වනු ඇති බවට ඔහු ප්‍රතිඥා දී තිබේ.

එකඟතාවකින් තොරව ඉවත් වීමත් සමග වෙළඳාම වඩාත් පහසු කිරීම සඳහා නිර්මාණය කර ඇති යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතර ක්‍රියාත්මක තීරු බදු සහන සහ පොදු වෙළඳපොල බ්‍රිතාන්‍යයට අහිමි වනු ඇත.

එමගින් බ්‍රිතාන්‍ය ආර්ථිකයට හානි සිදු විය හැකි බව දේශපාලනඥයෝ බොහෝ දෙනෙක් සහ ව්‍යාපාර පවසති. ඉන් මතු විය හැකි අනතුරුදායක තත්ත්වය අතිශෝක්තියට නගන බව සෙසු පිරිසගේ අදහසය.

(BBC)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website