බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 08:15

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝග විමර්ශනයකට මැදිවෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිල දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සදහා එරට ඩිමොක්‍රටික් පක්ෂය විමර්ශන ආරම්භ කර තිබේ. ඒ, දේශපාලනික ප්‍රතිවාදියෙකුට හානි කිරීම සදහා විදේශ බලවේගයක් මෙහෙයවූ බවට එල්ල වී ඇති චෝදනා මුල් කර ගනිමිනි.

ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරියක වන නැන්සි පෙලෝසි පැවසුවේ, ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් "වගකීම භාර ගත යුතු," බවය.

කෙසේ වෙතත්, එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, මෙය තමන්ට එරෙහි "මඩ ව්‍යාපාරයක්" බවය.

මෙම දෝෂාභියෝගයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ සභිකයින්ගෙන් ප්‍රබල සහයක් හිමි වුව ද, රිපබ්ලිකන් පක්ෂයේ පාලනයට යටත් සෙනෙට් සභාවේදී එය සම්මත කර ගැනීම දුෂ්කර වනු ඇත.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකාවද වන නැන්සි පෙලෝසි මෙවැනි පියවරකට එළැඹ සිටින්නේ, ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු වූ ජෝ බයිඩ්න් පිළිබදව විමර්ශනය කරන ලෙස ඔහු යුක්රේන ජනාධිපතිවරයාට බලපෑම් කර ඇති බවට චෝදනා නැගෙන පසුබිමකය. මෙම තත්ත්වය හමුවේ, 2020 මැතිවරණයට පෙර ඩිමොක්‍රටික් පාක්ෂිකයින් සහ ජනාධිපතිවරයා අතර දැවැන්ත ගැටුමකට අඩිතාලමක් නිර්මාණය වී තිබේ.

මෙම විමර්ශනය ඉදිරියට ගියහොත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Representatives) ඕනෑ ම චෝදනාවක් මත ඡන්දය ප්‍රකාශ කරනු ඇති අතර, ඩිමොක්‍රටික් සභිකයින් බහුතරය සිටින තත්ත්වය මැද ඒ පිළිබඳ ඡන්දය පවත්වනු ඇත. එසේ වුවහොත් ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ඉතිහාසයේ දෝෂාභියෝගයකට මුහුණ දුන් තුන් වන ජනාධිපතිවරයා බවට පත් වනු ඇත.

කෙසේ වෙතත්, දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයේදී ප්‍රගතියක් නොදකිනු ඇත්තේ, සෙනෙට් මණ්ඩලයේ වැඩි ආසන සංඛ්‍යාවක් ජනාධිපතිවරයා නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට ඇති හෙයින් ඔහු ඉවත් කිරීමට අවශ්‍ය තුනෙන් දෙකක බහුතර බලය ලැබිය නොහැකි හෙයිනි.

මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් නැන්සි පෙලෝසි නිශ්චිත කාල වකවානුවක් සදහන් කර නොමැත.

නැන්සි පෙලෝසි කීවේ කුමක් ද?

අඟහරුවාදා (සැප්තැම්බර් 24) නිවේදනයක් නිකුත් කරමින් නැන්සි පෙලෝසි පැවසුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තනතුර භාර ගනිමින් කළ දිවුරුම පාවා දී ඇති අතර "නීතිය උල්ලංඝණය කර ඇති" බවය. ඇය ට්‍රම්ප්ගේ ක්‍රියා හැදින්වූයේ, "ව්‍යවස්ථාවෙන් ඔහුට පැවරී ඇති වගකීම් බිද දැමූවක්" ආකාරයෙනි.

"ජනාධිපතිවරයා දේශපාලනික වශයෙන් තමාට වාසි සැලසෙන පරිදි පියවර ගන්නා ලෙස යුක්රේනයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව මේ සතියේ පිළිගෙන තිබෙනවා," ඇය සඳහන් කළාය. "මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතුයි. කාටවත් නීතියට ඉහළින් යන්න බෑ."

ඩොනල්ඩ් ට්‍රම්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම "ශෝකාන්තයක්, ඒත් ඒ ශෝකාන්තය එයා ම ඇති කර ගත්ත එකක්," ජෝ බයිඩ්න් පැවසීය. 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තරග කිරීම සදහා පෙරමුණේ සිටින දේශපාලනඥයා ජෝ බයිඩ්න් වේ.

ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය
ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩ මාලාවක් නිකුත් කරමින් කියා සිටියේ, "කුණු කන්දල් පිරි පුවත් හරහා" ඩිමොක්‍රටික් පක්ෂය තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කරන සංචාරය "හිතාමතා විනාශ කළ" බවය.

"ඔවුන් අඩුතරමින් දුරකතන සංවාදයේ පිටපතවත් දැකලා නැහැ. තනිකර ගොදුරු කරගැනීමක්!" ඔහු සදහන් කර තිබිණි.

යුක්රේන ජනාධිපතිවරයා සමග පැවති අදාළ දුරකතන සංවාදයේ සම්පූර්ණ පිටපතක් බදාදා නිකුත් කරන බවට ඔහු පොරොන්දු වී තිබිණි.

(BBC)

World News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website