බදාදා, 01 ජනවාරි 2020 09:53

ඉරාකය: බැග්ඩෑඩ්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාර

ඉරානයේ සහය ලබන ඉරාක සටන්කාමීන් ඉලක්කකර ඇමෙරිකාව මෑතදී එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් කෝපයට පත් උද්ඝෝෂකයෝ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයට පහර දුන්හ.

අගනුවර දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති කලාපය (Green Zone) තුළ පිහිටි තානාපති කාර්යාල පරිශ්‍රයේ බාහිර තාප්පය පසුකළ විරෝධතාවාදීන් විසුරුවා හැරීම සඳහා ඇමෙරිකානු හමුදා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළහ.

යාබද මාවතේ ඇති ආරක්ෂක මුරකුටියක් ද ගිනිබත් කර ඇත.

මෙම ප්‍රහාරය ඉරානය විසින් "මෙහෙයවන" ලද්දක් බවට චෝදනා කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහි "පූර්ණ වගකීම ඉරානයට පැවරෙන" බව කියා සිටියේය.

බටහිර ඉරාකයේ හා නැගෙනහිර සිරියාවේ ඇති, කටායිබ් හෙස්බොල්ලා සටන්කාමීන්ට සහය දෙන කඳවුරු වෙත ඇමෙරිකාව බෝම්බ හෙළීමෙන් අවම වශයෙන් සටන්කාමීන් 25 දෙනෙකු පමණ මියගොස් තිබේ.

ඉරාකයේ කිර්කුක්හි පිහිටි ඉරාක හමුදා කඳවුරකට පසුගිය සිකුරාදා (දෙසැම්බර් 27) එල්ල කරන ලද රොකට් ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමක් කටායිබ් හෙස්බොල්ලා සටන්කාමීන්ට සහය දෙන කඳවුරුවලට පැහැර දුන් බව ඇමෙරිකාව පැවසීය. එම රොකට් ප්‍රහාරයේදී ඇමෙරිකානු සිවිල් කොන්ත්‍රාත්කරුවකු මියගොස් තිබේ.

ඇමෙරිකානු ගුවන් ප්‍රහාර සිය රටේ ස්වෛරී බව උල්ලංඝණය කිරීමකැයි ඉරාක අගමැති අදෙල් අබ්දුල් මහ්දි පැවසු අතර, සිය ප්‍රතිචාරය "ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදාවලට ඉතා දැඩිවූවක් විය හැකි" බවට කටායිබ් හෙස්බොල්ලා නායක අබු මහ්දි අල්-මුහන්දිස් කියා සිටියේය.

බැග්ඩෑඩ්හි සිදු වූයේ කුමක්ද?
ඇමෙරිකානු ප්‍රහාරවලින් මියගිය සටන්කාමීන්ගේ අවමගුල් කටයුතු අඟහරුවාදා (දෙසැම්බර් 31) බැග්ඩෑඩ් නුවර පැවැත්වීමෙන් අනතුරුව විරෝධතා ආරම්භ විය.

'කටායිබ් හෙස්බොල්ලා' නායක අබු මහ්දි අල්-මුහන්දිස් මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ සටන්කාමී නායකයින් හා අර්ධ සන්නද්ධ හමුදා නායකයින් ඇතුළු සංවේගයට පත් දහස් ගණනක් අධි ආරක්‍ෂිත කලාපය (Green Zone) හරහා පාගමනේ යෙදුණහ. ඉරාක රජයේ කාර්යාල මෙන්ම විදෙස් තානාපති කාර්යාල ද මෙම කලාපය තුළ පිහිටා තිබේ.

ඔවුන්ට කලාපය තුළට ඇතුළුවීමට ඉරාක ආරක්ෂක හමුදා විසින් ඉඩ සලසන ලද අතර, ඇමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයට පිටතින් වූ මාවතේ ඔවුහු ඒකරාශී වූහ.

"මේ තානාපති කාර්යාලය ඉරාකයට එරෙහිව කුමන්ත්‍රණය කරන තානාපති කාර්යාලයක්. ඉරාකය ගැන ඔත්තු බලන, ඉරාකය තුළ කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක් දියත් කරන තානාපති කාර්යාලයක්" යැයි අසායිබ් අහ්ල් අල්-හක් සන්නද්ධ කණ්ඩායමේ නායක ක්වයිස් අල්-ඛසාලි පැවසීය.

'කටායිබ් හෙස්බොල්ලා' මෙන්ම අනෙකුත් සන්නද්ධ කණ්ඩායම්වල ධජ ලෙලවමින් ද ඇමෙරිකානු සටන් පාඨ හඬ නගමින්ද තානාපති කාර්යාල පරිශ්‍රයේ ප්‍රධාන ගේට්ටුව වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කළ විරෝධතාකරුවෝ ආරක්ෂක කැමරා බිම හෙලමින්ද හිස් ආරක්ෂක කුටිවලට පහර දෙමින් ද ගිනි තැබීමට පටන් ගත්හ.

පරිශ්‍රයේ තාප්පය ඉක්මවා යාමෙන් පසු තත්ත්වය වඩා උත්සන්න විය.

ගේට්ටුවට පහරදී විවෘත කරන ලදුව තානාපති කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල කරා දිවෙන කොරිඩෝවෙහි මීටර් පහක් පමණ දුරකට ඇතුළු වූ පුද්ගලයන් රැසක් ඇමෙරිකානු හමුදාවල කඳුළු ගෑස් ප්‍රහාර මැද පසුබා ගියේ යැයි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළේය.

පසුව, ඉරාක හමුදා හා කැරලි මර්දන පොලිසිය අදාළ ප්‍රදේශය වෙත යැවුණු බව වාර්තා විය.

ඉරානයේ සහය ලබන 'The Popular Mobilisation' සන්නද්ධ කණ්ඩායම පැවසුවේ ජීව උණ්ඩ හා කඳුළු ගෑස් බහාලුම් වැදීමෙන් විරෝධතාකරුවන් විසි දෙනෙකු තුවාල ලද බවය.

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ සිවිල් කාර්ය මණ්ඩලය තානාපති කාර්යාලය තුළ සිටියේදැයි යන්න පැහැදිලි නැත.

වාර්තාවල දැක්වුණේ ඇමෙරිකානු තානාපති මැතිව් ටුවෙලර් ඉන් ඉවත් කරගෙන් යන ලද බවකි. එහෙත්, තානාපති කාර්යාලයට සමීප ආරංචි මාර්ග බීබීසී සමග පැවසුවේ තානාපති ටුවෙලර් කළින් සැලසුම් කරගත් පරිදි නත්තල් නිවාඩුව සඳහා ඉරිදා ගුවන් ප්‍රහාරයට පෙරම පිටත්ව ගොස් ඇති බවකි.

ප්‍රතිචාර මොනවාද?
උද්ඝෝෂණ ආරම්භ වී පැය කිහිපයක් ගතවද්දී ඇමෙරිකානු තානාපති කාර්යාලය අවට ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස අගමැති අබ්දුල් මහ්දි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

"තානාපති කාර්යාල හා විදෙස් දූත මණ්ඩලවලට එල්ලවන ඕනෑම ප්‍රහාරයක් ආරක්ෂක හමුදා විසින් දැඩි ලෙස වළක්වනු ලබන අතර, නීතියෙන් දැඩිව දඬුවම් කරන බවට මෙය මතක් කිරීමක්." යැයි ඔහු පැවසීය.

'ට්විටර්' පණිවිඩයක් නිකුත් කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "ඉරානය ඇමෙරිකානු කොන්ත්‍රාත්කරුවකු මැරුවා, තවත් රැසකට තුවාල කරමින්. අපි ප්‍රතිචාර දැක්වුවේ දැඩිවයි, හැමවිට එසේම වේවි. දැන් ඉරානය, ඉරාකයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහරදීම මෙහෙයවනවා. ඒ ගැන ඔවුන්ට පූර්ණ වගකීම දරන්නට වේවි. මීට අමතරව තානාපති කාර්යාලය ආරක්ෂා කරන්න ඉරාකය සිය බලය යොදවණු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා." යනුවෙන් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ඉරාන ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් නොවීය.

මේ අතර, තානාපති කාර්යාලය වසා දමා තානාපතිවරයා ඉරාකයෙන් පිටමං කරන තෙක් තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ගෙන යායුතු බවට 'කටායිබ් හෙස්බොල්ලා' සංවිධානය ඉල්ලා ඇතැයි 'අල්-සුමරියා' වෙබ් අඩවිය පැවසීය.

ඇමෙරිකාව කටායිබ් හෙස්බොල්ලා ඉලක්ක කළේ ඇයි?
අයි.එස් සංවිධානයට එරෙහි සටනේ යෙදුන ඇමෙරිකාව ප්‍රමුඛ හමුදාවලට පහසුකම් සැලසූ ඉරාක කඳවුරු වෙත එම සන්නද්ධ කණ්ඩායම නොකඩවා පහර දුන් බව ඇමෙරිකාව පවසයි.

ඊට ප්‍රතිචාර වශයෙන්, ඔවුන්ගේ ඉදිරි ප්‍රහාර අඩපණ කිරීමට ඉවහල් වන පරිදි අවි ගබඩා මෙන්ම අණ හා පාලන ස්ථාන ඇතුළු පරිශ්‍ර පහකට පසුගිය ඉරිදා ඇමෙරිකානු හමුදා පහර දුන් බවද ඇමෙරිකාව කියා සිටියේය.

ඉරාකයේ සාමයට හා ස්ථාවරත්වයට තර්ජනයක් ලෙස චෝදනා නගමින් 2009 වසරේ සිට 'කටායිබ් හෙස්බොල්ලා' ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ ඇමෙරිකාව, එහි නායක අබු මහ්දි අල්-මුහන්දිස් "ගෝලීය ත්‍රස්තවාදියෙකු" වශයෙන් ලැයිස්තුගත කළේය.

(BBC)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website