අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 09:40

කිම් ජොං උන් ජීවතුන් අතර - දකුණු කොරියාව සහතික වෙයි

උතුරු කොරියානු නායක කිම් ජොං උන් මහතා මියගොස් ඇති බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව දකුණු කොරියාව පවසනවා. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මහතාගේ ආරක්ෂක උපදේශකවරයා විසින් මේ බව අනාවරණය කර තිබේ.

'ඔහු ජීවතුන් අතර, සුවෙන් සිටී' යනුවෙන් ආරක්ෂක උපදේශක මූන් චන්ග් ඉන් මහතා පවසා තිබෙනවා.

දකුණු කොරියානු වාර්තාවලට අනුව, කිම් ජොන්ග් උන් උතුරු කොරියාවේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි වොන්සන් නගරයේ විවේකීව ගත කරමින් සිටී. උතුරු කොරියානු නායකයා එම නගරයට විශේෂ කැමැත්තක් දක්වන අතර ඔහු රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් පසුව එම නගරය විනෝදාස්වාදයේ නගරය බවට පත් කළේය.

පසුගිය අප්‍රේල් 11 වැනිදායින් පසුව කිම් ජොං ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර ඔහු අප්‍රේල් 11 වැනිදා උතුරු කොරියානු නිර්මාතෘ සහ තම සීයා වන කිම් ඉල් සුන් ගේ උපන් දින සැමරුමට එක්ව සිටියේය.

දකුණු කොරියානු බලධාරීන පවසන්නේ උතුරු කොරියාව තුළ කිසිදු විශේෂ යමක් සිදුව නොමැති බවයි.

මෙම මස මුලදී කිම් ජොන්ග් උන් හදවත් සැත්කමකට මුහුණ දුන් අතර ඉන්පසු ඔහු මියගොස් ඇති බවට ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කර තිබිණි. එපමණක් නොව ඔහුගේ අනුප්‍රාප්තිකයා නම් නොකර ඇති තත්වයක් තුළ උතුරු කොරියාවේ අනාගතය කෙසේ විය හැකිද යන්න සම්බන්ධයෙන් පවා විවිධ මතවාද පැතිරිණි.

(LNW)

World News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website