සෙනසුරාදා, 02 සැප්තැම්බර් 2023 17:10

විශේෂඥ වෛද්‍යවරුන් දැඩි පීඩාවෙන්.. රට හැර යන්නමයි වෙන්නේ. Featured

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලකයන්ගේ පරිපාලනමය දුර්වලතා – AMS නිරීක්ෂණ

ජනතාවට කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට බාධා වන, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය පරිපාලකයන්ගේ පරිපාලනමය දුර්වලතා රැසක් දැඩි කණස්සල්ලෙන් යුතු ව අප විසින් ඔබගේ අවධානයට යොමු කිරීමට බලාපොරොත්තු වෙමු.

1. විශේෂඥ වෛද්‍යවරුන්ගේ 2023 වාර්ෂික ස්ථාන මාරුවීම් ප්‍රමාදවීම –

විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තෘතීය සේවා අධ්‍යක්ෂවරයා විසින් ආයතන සංග්‍රහයේ නීති රීති උල්ලංඝනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සිදු කිරීම මාස අටකට වැඩි කාලයක් දැනටමත් ප්‍රමාද කර ඇත. මෙම තත්ත්වය විශේෂඟ වෛද්‍යවරුන්ගේ වෘත්තිමය සහ පෞද්ගලික ජීවිත පිලිබද තීරණ ගැනීමට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර යම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ රට හැර යාමට පවා මෙය එක් හේතුවක් ලෙස හුවා දැක්විය හැක. 2023 වාර්ෂික ස්ථාන මාරු වීම් හරහා පුරප්පාඩු පිරවීමේදී ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සලකා බැලීම සිදු වන්නේ 2022 දෙසැම්බර් 31 දක්වා බැවින් විශ්‍රාම ගැන්වීමේ වයස වෙනස් කිරීම නිසා සිදුවන ව්‍යාකූලත්වය, 2023 වාර්ෂික ලැයිස්තුව පිලියෙල කිරීම ට කිසිදූ බලපෑමක් සිදු නොකරන බවට අවධාරණය කළ හැක. එපමණක් නොව, මෙම පිළිගත නොහැකි ස්තාන මාරු ප්‍රමාදය නිසා සෞඛ්‍ය සේවයට සිදු වන බලපෑම ඉතා සුළු කලකින් මුලු රටටම දැනෙනු නොඅනුමානය.

2. කණිෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් දුර පලාත් රෝහල් කිහිපයක සේවා එකවර ආවරණය කිරීම සදහා පත් කිරීම මගින් ප්‍රායෝගික නොවන මෙන්ම මානසික පීඩනයකට එම විශේෂඥ වෛද්‍යවරුන් පත් වී ඇත.

යම් අවස්ථාවලදී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කලාපයක හෝ කලාප කිහිපයක් ආවරණය වන පරිදි එක් විශේෂඥ වෛද්‍යවරයෙකු පත් කර ඇත. මෙමගින් එම රෝහල්වලට නාමික විශේෂඥ වෛද්‍ය සේවාවක් හිමි වන අතර ප්‍රායෝගිකව විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම සිදු නොවන තරම්ය.
උදා. මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම ප්‍රදේශවල අමතර වැඩ ආවරණය සඳහා වවුනියාවේ ආමාශ ආන්ත්‍ර රෝග විශේෂඥ වෛද්‍යවරයකු පත් කිරීම. (දුර: වව්නියාව – මුලතිව් 97 km (මාන්කුලම් – වඩා හොඳ මාර්ගය හරහා) සහ 75 km (නැඩුන්කේනි හරහා); වවුනියාව – මන්නාරම 81 km; වවුනියාව – කිලිනොච්චිය 79 km).

විශේෂඥ වෛද්‍යවරයෙකු යනු යම් විෂයක් සඳහා විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරයෙකි. ඔහු/ඇය තම විෂය සම්බන්ධ සායනික සත්කාර සැපයීම සඳහා යම්කිසි රෝහලක ස්තානගත විය යුතු අතර එය වටා ඇති අනිකුත් කුඩා රෝහල් වල රෝගීන් ට භෞතිකව නොවන දුරස්ථ ආකාරයෙන් ප්‍රතිකාර ලබාදීමට තැත් කිරීම මගින් එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කාර්යක්ෂමව ලබා දීම සිදු නොවීමට ඉඩ ඇත. මෙම තත්ත්වය නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙන්ම සායනික රෝගීන්ට දැඩි බලපෑම් ඇති කරනු ඇත.

සෞඛ්‍ය සේවා සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා වන වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සහ තෘතීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු විසින් මෙලෙස අවිධිමත්ව කරන ලද වෙනත් විශේෂඟ පත්වීම් සම්බන්ධ එවැනිම උදාහරණ කිහිපයක් අප සතුව ඇත.

3 වෛද්‍යවරුන්ගේ බුද්ධිගලනය වැලැක්වීම සඳහා යම් නිලධාරීන් යෝජනා කරන දැඩි ක්‍රියාමාර්ග හා තර්ජනයන් ප්‍රායෝගික නොවන අතර එය බුද්ධි ගලනය අවම කිරීම සඳහා දිරිගන්වන සුළු ක්‍රියා මාර්ග නොවේ. ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට ඇති කීර්ති නාමය වත්මන් මෙවැනි දැඩි නීති ක්‍රියා මාර්ග හරහා යම් දුරකට හෝ අඩුවීමක් සිදුවිය හැක.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතිය ක්‍රියා සම්බන්ධ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා එවැනි දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කර ඇති අතර ඔහු දැනටමත් විවිධ හේතු නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව විදෙස් ගතවූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සබා ලියාපදිංචිය අවලංගු කරන ලෙස යෝජනා කිරීමට පියවර ගෙන ඇති බවත් අපි දනිමු.

 4 ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විනය නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර නොගැනීම – අදිකරන විශේෂඥ වෛද්‍ය වරයා අදාළ සිද්ධිය

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු වෛද්‍යවරයකුගේ වෘත්තීය වැරදි හැසිරීම් සම්බන්ධයෙන් තීන්දු ලබා දෙන මේ රටේ ඉහළම ආයතනයයි. එම තීන්දුව අදාළ වෛද්‍යවරයාට සහ ඔහුගේ සේවායෝජකයාට ( සෞඛ්‍ය අමාත්‍යාංශය) දැනුම් දුන් පසු, නිදහසට කරුණු නොසොයා මෙම තීන්දුව අකුරටම ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇති වගකීමකි.

මෙම කරුණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගත් වැරැදි පරිපාලනමය තීරන ඉදිරි කාලය තුළ දී හෙළිදරව් වනු ඇති අතර එමගින් වෛද්‍ය හා අධිකරණ ක්ෂේත්‍රයට දැඩි අනිසි ප්‍රතිඵල ඉදිරියේදී අත්දකින්නට සිදුවනු නොඅනුමානය.

5 සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා වන වෛද්‍ය ලාල් පනාපිටිය මහතා විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරමින් සිටි විශේෂඟ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු කිසිදු පරීක්ෂණයක් නොපවත්වා යම් පැමිණිල්ලක් මත පමණක් හෝමාගම මූලික රෝහලට මාරු කිරීමට නියෝග කර ඇත. මෙහිදී මෙම වෛද්‍ය නිලධාරියාගේ මාරුවීම හුදෙක් “සේවා අවශ්‍යතාවය මත” යන කරුණ මත පමණක් පදනම් කර සිදුකර ඇති බව මාරුවීම් ලිපියේ සඳහන් කර ඇත. (විස්තර සඳහා කරුණාකර “විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය” මගින් අමුණා ඇති ලිපිය බලන්න)

මෑත අතීතයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකයින් විසින් ගනු ලැබූ මේ හා සමාන ඉතා පටු, අවිධිමත් තීරණ රාශියක් ඇති අතර (Family medicine විශේෂඥයින් තම හිතුමතයට වාසිදායක ස්ථාන සඳහා පත් කිරීම තවත් ඒ හා සමාන සිදුවීමකි), එමගින් අප රටේ කලක සිට හොඳින් සංවිධානය වූ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සේවය අවුලෙන් අවුලට පත්කිරීමට ඔවුන් උත්සාහ කරමින් සිටී.

වෛද්‍ය විශේෂඥයින්ට අප රටේ සේවය කරන විට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. ඒවාට යටිතල පහසුකම් හිඟකම අකාර්යක්ෂම පරිපාලනය සහ ක්‍රියාකාරීත්වය ප්‍රදාන වශයෙන් ඇතුළත් වේ. කැපවීමෙන් මෙන්ම තම කැමැත්තෙන් ශ්‍රී ලංකාවට සේවය කිරීමට අවශ්‍ය වූවද, විදේශයන්හි නවීන පහසුකම් යටතේ දැඩි කැපවීමක් කර විශේෂඥ පුහුණුවක් ලබා තම දැනුම හරහා මෙරටට සේවාවක් සැපයීමට විදේශයන්හි සිට පැමිණෙන නවක වෛද්‍ය විශේෂඥයින් මෙම තත්ත්වයන් යටතේ දැඩි ලෙස අසහනයට මෙන්ම අධෛර්යයට පත්වේ.

තවද වත්මන් පරිපාලනය තුළ සිටින ඇතැම් වෛද්‍ය පරිපාලකයින්ගේ අහංකාර සහ වෘත්තීය විරෝධි හැසිරීම එවැනි වෛද්‍ය විශේෂඥයින් විදේශගත වීමට දැඩි ලෙස හේතු වී ඇති බව අපගේ හැගීමයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website