සිකුරාදා, 10 පෙබරවාරි 2023 10:03

බදු සංශෝධනය රැවටිල්ලක් පමණයි… Featured

බිලියන ගණනින් රජයට බදු ගෙවිය යුතු කැසිනෝ ජාවාරම්කරුවන්, සීනි – සුදු ළූණු බදු වංචාකරුවන් වැනි බදු පැහැර හැර ඇති මහා පරිමාණ පිරිස් නිදැල්ලේ සිටී.

සාමාන්‍ය ජනතාව වෙත නැවත වටයකින් බදු පැනවූ ආණ්ඩුවේ වැරදි බදු ප්‍රතිපත්තිය නිසා, අර්බුදයට ලක්ව ඇති මෙරට ආර්ථිකය, තවදුරටත් හැකිළෙන බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බදු වෘත්තිකයකු ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දෙයි.

 පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වලේබොඩ මහතා මෙසේද සඳහන් කළේය.

 

‘සංශෝධනය රැවටිල්ලක් පමණයි’

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පමණක් නොවෙයි, බදු වෘත්තිකයකු ලෙස අපි දකින දේ තමයි මේ බදු පැනවීම තුළ රටේ සමස්ත ආර්ථිකය විනාශ මුඛයට යනවා, කියන එක. මුදල් අමාත්‍යාංශය සහ බදු පැනවීම් කරන නිලධාරීන් අනුගමනය කරමින් සිටින බදු ප්‍රතිපත්තිය වැරදියි. වෘත්තිකයන්ට පනවා ඇති බදු සංශෝධනය කර ගැනීම සඳහා ඔවුන් සිදු කළ උද්ඝෝෂණයේ තරම අපි ඊයේ දැක්කා. ඒ සමඟම මුදල් අමාත්‍යාංශය ඊයේ දහවල් වන විට උපයන විට ගෙවීමේ බද්ද සංශෝධනය කරලා නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒකෙන් කාටද සහන ලබාදී ඇත්තේ? වැටුපට අය වන බද්දට සහන දෙනවා වෙනුවට, නිල නිවාස, වාහන, කාර්යාල, දුරකථන ආදී රජයේ වත්කම් පාවිච්චි කරන ප්‍රමාණය මත වැටුපෙන් අය කරපු, උපයන විට ගෙවීමේ බද්ද තමයි අඩු කර ඇත්තේ. මිලියන ගණනක වාර්ෂික වටිනාකමක් සහිත නිල නිවාස, වාහන, කාර්යාල ආදී මේ මූල්‍ය නොවන පහසුකම් රජයෙන් කාටද ලබාදී ඇත්තේ? කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන්ටයි. ඒ අනුව පෙනෙන්නේ මේ ඊයේ සිදු කළ උපයන විට ගෙවීමේ බදු සංශෝධන මගින් ඉහත කී සුළු පිරිසට පමණක් සහන ලැබෙන බවයි. උපයන විට ගෙවීමේ බදු සංශෝධනය කළා කීවාට එමගින් වෘත්තිකයන්ට හෝ සාමාන්‍ය ජනතාවට සහන ලැබෙන්නේ නැහැ. එය රැවටිල්ලක් පමණයි. ඒ නිසා අපි ආණ්ඩුවට බලකර සිටිනවා, යළි සමාලෝචනය කරලා මේ සම්බන්ධව නිවැරදි සංශෝධන කරන්න, කියා.

 

අපේක්ෂිත බදු ආදායම නොලැබීම

මෙවර අයවැයෙන් පැනවූ, 2023 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක වන බදු මගින් අපේක්ෂිත ආදායම ලබා ගැනීමට බැරි බව ද අප පෙන්වා දිය යුතුව තිබෙනවා. නිදසුනක් ලෙස බලන්න, 2023 ජනවාරි පළමුවැනිදා සිට සුරා හා දුම්කොළ මත පනවන බද්ද සියයට 20කින් වැඩි කළා. එමගින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 190ක්. නමුත් මේ බද්ද සියයට 20කින් වැඩි කළාම ලබාගත හැකි ආදායම රුපියල් බිලියන 90 – 100ත් අතර මුදලක්. එවිට එමගින් පමණක් රජයට මේ වසරේ අහිමි වන ආදායම රුපියල් බිලියන අනූවක් පමණ වෙනවා. සමස්තයක් ලෙස මෙහෙම වුණාම සමෘද්ධි දීමනා, විශ්‍රාම වැටුප්, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා මුදල් යොදවන්නේ කොහොමද? ඒවා කපා හරින එක තමයි මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු විය හැක්කේ.

 

රට කබලෙන් ලිපට

මේ හේතුවෙන් සාර්ව ආර්ථිකයම විනාශ මුඛයට යනවා. සමාහාර අලාභය, කියන්නේ ‘බදු පැනවීම නිසා පරිභෝජනය අඩු වෙනවා; පරිභෝජනය අඩු වීම නිසා නිෂ්පාදනය අඩු වෙනවා; නිෂ්පාදනය අඩුවීම නිසා අලෙවිය අඩු වෙනවා; අලෙවිය අඩු වෙනවා කියන්නේ ව්‍යාපාරවල ආදායම අඩු වෙනවා; අවසානයේදී ව්‍යාපාරවල ආදායම අඩු වීමෙන් ව්‍යාපාර පාඩු ලබනවා.’ කියන එක. ව්‍යාපාර පාඩු ලබන විට ඒවාට බදු ගෙවීමට විදිහක් නැතිවෙනවා. ඒ වගේම අලෙවිය මත, නිෂ්පාදනය මත, පරිභෝජනය මත එකතු කර ගැනීමට යන බදු ප්‍රමාණය ද අඩු වෙනවා. ඒ අනුව රටේ සමස්ත ආර්ථිකයම හැකිළෙනවා. මේක තේරුම් ගන්න බැරි, කැබිනට් මණ්ඩලයක්, මුදල් රාජ්‍ය ඇමතිවරුන්, ආර්ථික උපදේශකවරුන් – විශේෂඥයන් පිරිසක් තමයි අද රට මෙහෙයවන්නෙ. මේ වැරදි බදු ප්‍රතිපත්තිය නිසා රට කබලෙන් ලිපට ඇද වැටෙන බව පැහැදිලියි.

 

‘ගල් අඟුරු හිඟය’ ඇත්ත කතාව

දැන් බලන්න, ‘ගල් අඟුරු හිඟයක් ඇවිත් තිබෙනවා. තව ටික දවසටයි ගල් අඟුරු තිබෙන්නේ.’ කියා ගල් අඟුරු සමාගම කියනවා. හැබැයි ගල් අඟුරු ටික ගෙනල්ලා නැව් නවත්වාගෙන ඉන්නවා. එවිට විදුලිබල මණ්ඩලය කියනවා, ‘අප සතුව ඒවාට ගෙවීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණයට සරිලන රුපියල් ප්‍රමාණය නැහැ.’ කියා. මේ උත්සාහ කරන්නේ මහජන උපයෝගීතා කොමිසම සහ අධිකරණය හරහා ඉටු කරගන්න බැරි වුණු විදුලි බිල වැඩි කීරීම සිදු කර ගන්නයි. දැන් මේ නවත්වාගෙන ඉන්න ගල් අඟුරු නැව්වලට හානිපූරක දීමනා, දඩ ගෙවීමට සිදු වෙනවා. මේ හානිපූරක දීමනා, දඩ මුදල් කාගේ සාක්කුවට ද යන්නේ? කියන ප්‍රශ්නය ද මේ සමග එනවා. නමුත් අවසානයේ ගල් අඟුරු නැව්වලට ගෙවන හානිපූරක දීමනා, දඩ යන සියල්ල අය කරගන්නේ විදුලි පාරිභෝගිකයාගෙනුයි. ඒ වගේම විදුලි බිල වැඩි කරලා ඒකත් විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගන්නවා.

 

IMF කෝකටත් තෛලය

රටට රාජ්‍ය ආදායම ලබාදෙන ප්‍රධානම ආයතන තුන තමයි, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන්නේ. ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජාසන කථාව හෙවත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසුවා, මේ දෙපාර්තමේන්තු තුනම එකතු කරලා එක් ආදායම් අධිකාරියක් යටතට ඒවා ගෙන එන බව. අපි රටේ ජනතාවට පෙන්වා දෙන්න කැමතියි, මෙමගින් වෙන්නේ බදු අනුපාත වැඩි කරලා, යළිත් වටයකින් සාමාන්‍ය ජනතාව මත බදු බර පැටවීම, කියලා. මේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන කෝකටත් තෛලය.

 

වසරකදී දුප්පතුන් දෙගුණ වීම

මේ රටේ මේ බදු ප්‍රතිපත්තිය නිසා දුෂ්කරතාවලට මුහුණ පා සිටින ව්‍යාපාරිකයන්ට, ආයෝජකයන්ට, කර්මාන්තකරුවන්ට හා වෘත්තිකයන්ට අපි කියනවා, ‘ඔබලා මේ සම්බන්ධයෙන් අවදියෙන් සිටින්න’ කියා. දැන් බලන්න 2021දී මේ රටේ දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටියේ 13%ක් පමණයි. එය 2022 වසර අවසන් වනවිට 26% දක්වා වැඩිවෙලා. පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවය කරපු මධ්‍ය පන්තියේ පිරිස තමයි මෙතැනට ඇද වැටුණේ. 2022 වසර තුළ මේ ආණ්ඩුව මේ රටේ දුප්පතුන් හිඟන්නන් බවට පත් කරලා, මධ්‍යම පංතිය දුප්පතුන් බවට පත් කරලා තිබෙනවා. මේ බදු ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කළාම මධ්‍යම පන්තියේ ඉහළ පිරිසකුත් දුප්පතුන් බවට පත්වේවි. හැබැයි මේ විදිහට එකතු කරගන්නා බදු මුදල්වලින් දූෂණය ඉහවහා ගිය, අකාර්යක්ෂම, ඵලදායී නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව තවමත් සැලසුම් සහගතව කටයුතු කරමින් ඉන්නවා.”

 

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Last modified on සිකුරාදා, 10 පෙබරවාරි 2023 10:30
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website