''පුලස්ථිපුර'' එසේත් නැත්නම් ''පුලතිසිපුර'' යනුවෙන් හඳුන්වනු ලබන්නේ වර්තමානයේ පොළොන්නරුව යනුවෙන් හඳුන්වනු ලබන ඓතිහාසික අග නගරය යි. නමුත් ශී්ර ලංකාවේ නගර පිළිබඳව සලකා බලන විට පොළොන්නරුවට තරම් විවිධ කාලවකවානුවල දී විවිධ නම් භාවිතා කළ නගරයක් තවත් නොමැති තරම් ය. මෙම නගරය අතීතයේ සිටත කඳවුරු නුවර, පුලස්ති නගර්, පුලතිසිපුර, ජනනාථපුර, පුලනරු, පොළොන්නරු ආදි විවිධ නම්වලින් හඳුන්වා ඇත.
පළමු විජයබාහු රජුගේ පොළොන්නරු ටැම් ලිපියේ මෙම නගරය හඳුන්වා දී ඇත්තේ ''පොළොන්නරු'' ලෙස යි. එහෙත් නිශ්ශංකමල්ල රජුගේ උතුරු දොරටු ලිපියේ සඳහන්ව ඇත්තේ ''පුලස්ථිපුර'' යනුවෙනි. තවත් විමසා බැලීමේ දි දක්නට ලැබෙන්නේ ක්රි.ව. 4- 16 දක්වා සිවස්වල ලියැවුණ සීගිරි කුරුටු ගීවල සඳහන්ව ඇත්තේ ''පොළොනරු'' ලෙසයි. වංශකතාවේ සඳහන්ව ඇත්තේ ''පුලස්ථි පුරවර'' යනුවෙනි.
පොළොන්නරුව සම්බන්ධයෙන් පළමුවෙන් ම සඳහන් වන්නේ දෙවන අග්බෝ රජු සමයේ වන අතර ඒ ක්රි.ව. 628 දී ය. මෙම නාමය සම්බන්ධයෙන් ද ජනප්රවාද කීපයක් ම පවතී. ඉන් ප්රමුඛත්වයක් උසුලන්නේ මෙම කඳු ගැටයේ පොළගෙක් (නරු) වාසය කළ බැවින් මෙම නගරය ''පොළොන්නරුව'' වු බවයි. ජනප්රවාදවලට අනුව මෙම ප්රදේශය පළමුවෙන් ම තම රාජධානිය බවට පත්කරගෙන ඇත්තේ රාවණා රජුගේ සීයා වන පුලතිසි නම් රජු ය. පසුකාලයක දී ''පුලතිසි'' නම් ඍෂිවරයා බවට පත්ව ඇත්තේ ද ඔහු බව පොත්පත්වල සදහන්ව ඇත.