වෙරළ ඛාදනය වැළැක්වීම පිළිබඳ කාර්යය ශත වර්ෂ ගණනාවක ඉතිහාසයක් සතු කාර්යයක් වන අතර 1963ට පෙර වෙරළ ආරක්ෂණ කටයුතු විටින් විට විවිධ දෙපාර්තමේන්තු විසින් සිදු කරන ලදී. වෙරළ ඛාදනය වැළැක්වීම යන කාර්යය සඳහා පුළුල් ප්‍රවේශයක වැදගත්කම අවබෝධ කරගත් රජය 1963දී කොළඹ වරාය කොමිසම තුළින් වෙරළ ආරක්ෂණ ඉංජිනේරු ඒකකයක් ස්ථාපිත කළේය. 1978 දී වෙරළ ආරක්ෂණ ඉංජිනේරු ඒකකය ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට පවරා දෙන ලද අතර ඉන්පසු වෙරළ සංරක්ෂණ කාර්යාංශය ලෙස ක්‍රියාත්මක විය.
1981 දී පාර්ලිමේන්තුව විසින් 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත පනවන ලදී. එම පනත “වෙරළ කලාපය පිළිබඳ මිනුම්ගත කිරීමක් සිදු කිරීම සහ වෙරළ කලාපය කළමනාකරණ සැලසුමක් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසීම, වෙරළ කලාපය තුළ සිදු කරන සංවර්ධන කටයුතු නියාමනය හා පාලනය සිදු කිරීම, වෙරළ කලාපය තුළ වෙරළ සංරක්ෂණ කටයුතු සඳහා සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සැලසීම යම් යම් ලිඛිත නීති සඳහා අවශ්‍ය සංශෝධන සකස් කිරීම, ඒ හා සම්බන්ධ හා ඊට ආනුෂංගික කරුණු සඳහා ප්‍රතිපාදන සැලසීම” අරමුණු කරගත් පනතක් ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව වෙරළ සංරක්ෂණ කාර්යාංශය 1984 වසරේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලෙසට උසස් කරන ලද අතර වෙරළ කලාපය පරිපාලනය, පාලනය, භාරකාරිත්වය සහ කළමනාකරණය පිළිබඳ කටයුතු වෙරළ සංරක්ෂණ අධ්යක්ෂවරයා වෙත පවරන ලදී. 1988 අංක 64 දරන වෙරළ සංරක්ෂණ (සංශෝධන) පනත මගින් මෙම පනත සඳහා සංශෝධන 1988 වසරේදී සම්මත කරන ලදී. 2009 ජුලි මාසයේදී වෙරළ සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා පත් කිරීම මගින් මෙම දෙපාර්තමේන්තුව තවදුරටත් උසස් කරන ලදී.
වෙරළ සංරක්ෂණ පනත ප්‍රකාරව වෙරළ කලාපය මිනුම්ගත කර වෙරළ කලාප කළමනාකරණ සැලසුමක් පිළියෙල කල යුතුය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කරන ලද වෙරළ කලාප කළමනාකරණ සැලසුම රජය විසින් 1990 දී ක්‍රියාත්මක කරන ලදී. “වෙරළ 2000” නම් වූ ශ්‍රී ලංකා වෙරළ කලාපය සඳහා වන සම්පත් කළමනාකරණ ක්රමෝපායක් 1992 වසරේදී පිලියෙල කරන ලදී. මෙමගින් ශ්‍රී ලංකාවේ වෙරළ සම්පත් කළමනාකරණය සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. වෙරළ කලාප කළමනාකරණ සැලැස්ම 2004 වසරේදී අවසාන වරට සංශෝධනය කරන ලද අතර දැන් එය ක්‍රියාත්මක කරනු ලබමින් පවතී.