බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2024 09:04

සෞඛ්‍ය අතිරේක ලේකම් පැය 4ක රහස් ප්‍රකාශය දෙයි ලබන 14දා දක්වා රිමාන්ඩ් -නිමන්ති රණසිංහ Featured

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අධිකරණය හමුවේ ඊයේ (06) පැය හතරක රහස් ප්‍රකාශයක් ලබා දී තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 127 වැනි වගන්තිය ප්‍රකාරව සැකකාර වෛද්‍ය සමන් රත්නායක මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉදිරියේ එම ප්‍රකාශය දී ඇතැයි අධිකරණයේදී වාර්තා විණි.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකාර වෛද්‍ය සමන් රත්නායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (06) පෙරවරු 9ට පමණ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

පසුව බන්ධනාගාර නිලධාරීන් සැකකරු අධිකරණ නිල කාමරයට රැගෙන ගිය අතර, පස්වරු 3.30ට පමණ නැවත මහර බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

ඒ අනුව සැකකාර වෛද්‍ය සමන් රත්නායක මහතා ලබන 14 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබේ.

මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයාට මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් දීමට අවශ්‍ය බව සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා ඉකුත් 02 වැනිදා නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 127 වගන්තිය ප්‍රකාරව සැකකරුවකු මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ ප්‍රකාශයක් ලබාදෙන්නේ නම් ඒ පිළිබඳ හොඳින් සිතා බලා ස්වාධීනව කිසිදු බලපෑමකට යටත් නොවී එය ලබාදීම සඳහා අධිකරණයට ඉදිරිපත් වන ලෙසට මහේස්ත්‍රාත්වරිය එහිදී සැකකරුට දැනුම් දුන්නා.

එම රහස් ප්‍රකාශය ලබා දීම සඳහා සැකකාර වෛද්‍ය සමන් රත්නායක යන අය ඉකුත් 04 වැනිදා බන්ධනාගාරය මඟින් ඉදිරිපත් කර තිබූ අතර එහිදී සැකකරු එදින එම ප්‍රකාශය දී නැතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව එම ප්‍රකාශය ලබාදීම සඳහා ඊයේ (06) දිනයේදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබිණි.

බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක සහ වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අයවලුන් මෙම නඩුවේ සැකකරුවෝ වෙති.

මේ වන විට විදෙස්ගතව සිටින මෙම නඩුවේ 9 වැනි සැකකාර වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අය ජාත්‍යන්තර පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් ද අධිකරණයෙන් නිකුත් කර ඇත.

මෙම සිද්ධියේ පස්වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොග පාලක සුජිත් කුමාර යන අය පමණක් මේ වන විට ඇප මත සිටියි.

ඡායාරූපය – රුක්මාල් ගමගේ

336 x 200 Sinhala

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website