Displaying items by tag: දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු පද්ධතිය නිදහස්

  • මිලියන 57ක් වන තැන්පත්කරුවන් ආරක්ෂා කරනවා
  • අර්ථසාධකයට අත තබන්නේ නෑ
  • ඊපීඑෆ් පොලිය 9% අනිවාර්යයි

මහබැංකු අධිපති පවසයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු පද්ධතිය නිදහස් කෙරෙන බවත්, සේවක අර්ථ සාධක අරමුදලෙහි ඇති මුදල්වලට අත තැබීමක් නොකරන අතර, එම තැන්පතු සඳහා ගෙවනු ලබන සියයට 9ක පොලිය ඒ මට්ටමේම පවත්වාගෙන යන බවත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළේය.

මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (29) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ වීරසිංහ මහතා මෙසේ ද පැවසීය.

මහා භාණ්ඩාගාරයට සහ රටේ ආර්ථිකයට දැනටමත් සියයට 50කට වැඩි ඵලදායී බදු දායකත්වයක් සපයන බැංකු පද්ධතියට ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී තවදුරටත් බරක් නොවේ. දැනට බැංකු පද්ධතිය තුළ සිටින මිලියන 57ක් වන තැන්පත්කරුවන් ආරක්ෂා වී තිබෙනවා. ප්‍රතිව්‍යුහගතකරණයට යටත් වන දේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 43.6ක්. ඊට අමෙරිකානු ඩොලර් බිලියන 27.8ක භාණ්ඩාගාර බැඳුම්කර, අමෙරිකානු ඩොලර් බිලියන 14.1ක භාණ්ඩාගාර බිල්පත්, අමෙරිකානු ඩොලර් බිලියන 843ක සංවර්ධන බැඳුම්කර ඇතුළු මූල්‍ය උපකරණ කිහිපයක් අඩංගු වෙනවා. 2027 සිට 2038 දක්වා දිගුකාලීනව කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පරිණත වන තෙක් පහළ කූපන් ව්‍යුහයක් සමඟ හුවමාරු කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ අනුව 2025 වසර අවසානය තෙක් එම භාණ්ඩාගාර බැඳුම්කර සඳහා සියයට 12ක අනුපාතයක් සහ එතැන් සිට කල් පිරීම දක්වා සියයට 9ක අනුපාතයක් හිමි වෙනවා. භාණ්ඩාගාර බිල්පත්වලින් මහ බැංකුවේ රැඳවුම් 2029 සහ 2038 අතර කාලසීමාව තුළ කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර බවට අදියර දෙකක් යටතේ මාරු කෙරෙනවා.

බැංකු පද්ධතිය තුළ රඳවාගෙන ඇති භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියෙන් ඉවත් කෙරෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්මට අනුව අධි විශ්‍රාමික අරමුදල්වලට අදාළ බැඳුම්කර හුවමාරුව ජූලි මාසය තුළ අවසන් කරනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර යොදා ගන්නවා. දැනට භාණ්ඩාගාර බිල්පත් ට්‍රිලියන 4.1ක් වෙනවා. එයින් සියයට 62.4 මහබැංකුව සතුයි. මහබැංකුව සතු ඒවායින් එක් කොටසක් ප්‍රතිව්‍යුහගතකරණය යටතේ දීර්ඝකාලීන බැඳුම්කර වශයෙන් පත් කරන්නට එකඟ වී තිබේ. භාණ්ඩාර බැඳුම්කර ට්‍රිලියන 8.7ක් දැනට පවතිනවා. එයින් සියයට 36.5ක් සේවක අර්ථ සාධක අරමුදල්වලත් සියයට 36ක් බැංකුවලත් ඉතිරිය අනෙකුත් රක්ෂණවල සහ පුද්ගලික අංශයෙත් තිබෙනවා. මෙහිදී මහජනතාවගේ තැන්පත් ආරක්ෂා කර ගෙන බැංකුවලට වඩා අඩුවෙන් බදු ගෙවන අරමුදල්වල ඇති බැඳුම්කර සඳහා අලුතෙන් බැඳුම්කර නිකුත් කරනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ඉදිරිපත් කළ වැඩපිළිවෙළ කුමක්ද කියා මේ අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු‍ වෙනවා. රජයේ සම්පූර්ණ දේශීය ණය තිරසර මට්ටමට ගෙන ඒමට නම් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ආකාරයට දැනට තිබෙන නිර්ණායක වසර 10ක කාලයක් තුළ යම්කිසි ආකාරයක ස්ථාවර මට්ටමකට ගෙන ආ යුතුයි.

උදාහරණයක් ලෙස රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2022 අවසානය වන විට තිබූ 128% ප්‍රමාණය 2032 වන විට 95%කට වඩා අඩු මට්ටමකට ගෙන ඒම පළමු නිර්ණායකය වෙනවා.

දෙවැනි නිර්ණායකය වන්නේ රජයේ සම්පූර්ණ මුල්‍යකරණ අවශ්‍යතාවය වාර්ෂිකව ආණ්ඩුව දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස දැනට පවතින 34.6% ප්‍රමාණය 2027- 2032 වසර 05ක කාලය තුළ සාමාන්‍යයෙන් 13% හෝ ඊට පහළ මට්ටමකට ගෙන ඒමයි.

තෙවැනි නිර්ණායකය වන්නේ විදේශ ණය සේවාකරණයයි. එය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 9.4ක් පවතිනවා. එය 2027- 2032 කාලය තුළ 4.5%ක මට්ටමට ගෙන ආ යුතුයි. මෙම ඉලක්ක ළඟා කර ගතහොත් විදේශීය සංචිතවල හෝ බාහිර මූල්‍ය පරතරය (external financing gap) පිරවීමට ලැබෙන සහනය වන අමෙරිකානු ඩොලර් බිලියන 16.9 කින් අඩු වෙනවා.

මේ ඉලක්ක තුන ළඟා කර ගැනීමේදී කොටස් තුනක් තිබෙනවා. නිල ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුගතකරණය පළමු වැන්නයි. ඒ පිළිබඳ සාකච්ඡා පැරිස් සමාජයත් සමඟ කරගෙන යනවා. වාණිජ වශයෙන් ස්වෛරී බැඳුම්කර මඟින් ගත් ණය දෙවැන්නයි. ඒ පිළිබඳවත් සාකච්ඡා කරමින් යනවා. තුන්වැනි කාරණය වශයෙන් දේශීය ණය ප්‍රශස්තකරණය කරමින් යනවා. දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ එක් ආකාරයක් වන්නේ රජයේ බදු වැඩි කර රජයේ ප්‍රාථමික අතිරික්තය (primary surplus) 2.3%කට දැනටම මැදි කාලීනව එකඟ වී තිබෙනවා. ඒකම කොටසක් ලෙස ගත හැකි වුවත් එය ප්‍රමාණවත් වන්නේ නැහැ.

අපි දැනට කැබිනට් මණ්ඩලය සහ අදාළ අංශ වෙත ඉදිරිපත් කළ ආකාරයට විදේශීය ණය අප බලාපොරොත්තු වෙනවා . ඒ තුළින් දළ මූල්‍ය අවශ්‍යතාවය (Gross Financial need) කියන එක කළේ නැත්නම් 16.8ක් ඔය කියන තත්ත්වය තිබෙන්නේ 2027- 32 කාලය තුළ. එය කළාම අප බලාපොරොත්තු වෙනවා 14.2 දක්වා අඩු කිරීමට. ඒ අනුව 2.6ක් ඒක පුද්ගල ආදායම අඩු වෙනවා. නමුත් අපේ ඉලක්කය 13 දක්වා අඩු කිරීමටයි. එවිට එතනින් තවත් 1.2කට හෝ ඊට වැඩි ප්‍රමාණයක් දේශීය ණයවලින් අවම වශයෙන් බලාපොරොත්තු වෙනවා. එය තමයි ප්‍රධාන වශයෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී දළ මූල්‍ය අවශ්‍යතාවය කියන එකේ ඉදිරි කාලය තුළ රජයට දළ වශයෙන් ගන්න තිබෙන ණය බර අඩු කිරීම.

ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාව තුළින් එය ක්‍රියාත්මක කළහොත් එය 12.7 දක්වා අඩු වෙනවා. එය 13න් පහළ තිබිය යුතුයි. ඒ අනුව එය හරියට ක්‍රියාත්මක කළහොත් දශම තුනක පරතරයකුත් තිබෙනවා. හරියට මෙය ක්‍රියාත්මක කළ හොත් දළ දේශීය නිෂ්පාදිතයට ණය කියන එක කොහොමටත් 90%ටත් පහළට එනවා.

දේශීය වශයෙන් කරන්නේ මොකක්ද කියා අප කල්පනා කර බැලුවොත් ප්‍රධාන වශයෙන් ගන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරයි. භාණ්ඩාගාර බිල්පත් දැනට ට්‍රිලියන 4.1ක් තිබෙනවා. එයින් 62.4%ක්ම තිබෙන්නේ මහබැංකුව සතුවයි. අප දන්නා පරිදි කලින්ම යෝජනා කර තිබුණා මහබැංකුව සතු ඒවායින් ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වෙලා අපේ තිබෙන භාණ්ඩාගාර බිල්පත් දීර්ඝ කාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කිරීමට ඒ තුළින් තමයි මේ 1.2% කියන අවශ්‍යතාවයෙන් 1%ක්ම දායකත්වය ලැබෙන්නේ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිව්‍යුහගතකරණය එනම් භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කරවලට මාරු කිරීමෙන්. ඒක එක කොටසක්.

තවත් යම්කිසි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතුරු ප්‍රමාණය ලබා ගැනීමට තමයි අප බැලුවේ භාණ්ඩාගාර බැඳුම්කර කොපමණ තිබෙනවද කියලා. දැනට තිබෙන ආකාරයට ට්‍රිලියන 8.7ක් භාණ්ඩාගාර බැඳුම්කර තිබෙනවා. එයින් 36.5%ක් තියෙන්නේ විශ්‍රාමික අරමුදල (superannuation fund) හා සේවක අර්ථ සාධක අරමුදල වගේ ඒවගෙයි. 36%ක් විතර බැංකුවල. ඊට අමතරව අනෙකුත් රක්ෂණ හා පුද්ගලික ඒවායේ ඉතිරිය තිබෙනවා.

මෙතනින් අප විසඳුමක් බැලුවම විශේෂයෙන් මහබැංකුව පැත්තෙන් අප බලන්නේ කොහොමද බැංකු පද්ධතියේ ස්ථාවරත්වය රැක ගන්නේ කියන එකත් අනෙක් පැත්තෙන් ඊ.පී.එෆ් .එක පැත්තෙන් මොකක්ද ඔවුන්ට ලබා දිය හැකි හොඳම විසඳුම කියලයි.

ඊ.පී.එෆ්. එකේ භාරකරු විදියට ඉන්නේ මහබැංකුව. ඒ අනුව තමයි මහබැංකුව මීට සහභාගි වෙන්නේ. කොහොමද ඒ ප්‍රශස්තකරණය ලබා ගන්නේ. විශේෂයෙන් ජනතාවගේ තැන්පත් ආරක්ෂා කර ගැනීම එකක්. අනෙක් පැත්තෙන් ඊ.පී.එෆ්. වගේ සේවකයන්ගේ මුදල් කොහොමද හානියක් නොවී ආරක්ෂා කර ගන්නේ. ඒ අනුව තමයි සාකච්ඡාවලට සම්බන්ධ වී යම්කිසි ආකාරයක යෝජනාවලට එකඟ වී තිබෙන්නේ.

ඒ යෝජනාව අනුව බැංකුව පැත්තෙන් ගත්තම බැංකු පද්ධතියෙන් ඇත්ත වශයෙන්ම රජයේ ණය බර අඩු කිරීමට දැනටමත් විශාල දායකත්වයක් ලබා දෙනවා. උදාහරණයක් ලෙස බැංකුවලින් දැනට ගෙවන බදු ප්‍රමාණය මුළු බදු ප්‍රතිශතයෙන් 50%ටත් වැඩියි. කෝපරේට් ටැක්ස් එක 30%යි. වැට් සහ මූල්‍ය සේවා 18%යි. සමාජ ආරක්ෂණ දායකත්වය 2.5%යි.

මේ අනුව දැනටමත් බැංකුවල තැන්පත්කරුවන්ගේ මුදල්වලින් බැංකු ආදායමෙන් 50%කටත් වැඩිය බැංකු පද්ධතිය තුළින් භාණ්ඩාගාරයට සහ රජයට බදු ගෙවීම තුළින් යම්කිසි ආකාරයක දායකත්වයක් ලබා දෙනවා. ඊට සාපේක්ෂව බැලුවොත් විශ්‍රාමික අරමුදල් (superannuation fund) , ඊ. පී. එෆ්. වගේ ඒවයින් බදු අයකරන්නේ 14% යි. එය අඩු බදු අනුපාතයක්. මෙය සාධාරණව බෙදා හරින්නේ කියන ප්‍රශ්නය තිබුණා.

ඒ අනුවම බැලුවම පළවෙනි කාරණය බැංකු පද්ධතිය දැනටමත් දායකත්වයක් කරනවා. දෙවනි කාරණය බැංකු පද්ධතිය පසුගිය කාලය තුළ රටේ ආර්ථිකයේ සිදු වූ ණය ගෙවීමේ අපහසුතා සහ ලබා දුන් සහන කාලසීමා අනුව දැනටමත් ණය නොගෙවීම නිසා සිදු වූ පාඩුව ට්‍රිලියන එකක් (බිලියන 916) වෙලා තිබෙනවා. ඊට අමතරව පසුගිය කාලයේ ට්‍රිලියන 1.6ක් වගේ වටිනාකමින් යුත් සහන කාලසීමා ලබා දී තිබෙනවා. ඒ අනුව බැංකු පද්ධතිය දැනටමත් ආර්ථිකයට යම්කිසි දායකත්වයක් ලබා දී තිබෙනවා.

බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සහ තැන්පත්කරුවන්ගේ මුදල්වලට හානියක් නොවී ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමක්. ඒ නිසා තමයි අප යෝජනා කළේ බැංකු පද්ධතියට හානියක් මෙන්ම තව දුරටත් බරක් පැටවීම සාධාරණ වෙන්නේ නැහැ කියලා. ඔවුන් බදුවලින් ආර්ථිකයටත් භාණ්ඩාගාරයටත් දායකත්වයක් කර තිබෙනවා.

බැංකු පද්ධතිය තුළින් තැන්පත්කරුවන්ගේ තිබෙන තැන්පත් ප්‍රමාණය මිලියන 57ක්. රටේ ජනතාව මිලියන 20ක් වුණාට බැංකුවල ගිණුම් මිලියන 57ක් තිබෙනවා. ඒ මුදල්වලට යම්කිසි දෙයක් වුණොත් බැංකු පද්ධතියට වෙන හානිය ඉතා විශාලයි. මහ බැංකුව වශයෙන් අපේ ප්‍රධානම අරමුණ බැංකු පද්ධතිය සහ මුදල් ආරක්ෂා කිරීමයි. ඔබ දැක්කා පසුගිය කාලයේ විශාල කටකතාවක් තිබුණා බැංකු කඩා වැටෙනවා. තැන්පත් නැති වෙනවා. බොහෝදෙනෙක් ඇහුවා තැන්පත් එළියට ගන්නද කියලා. බැංකුවල තැන්පත් ඉවත් කරන්න ගත්තොත් ආර්ථිකයම කඩා වැටෙනවා.

ඒ නිසා පළවෙනිම උත්සාහය බැංකු පද්ධතියට හානියක් නොවී ගිණුම් මිලියන 57ක තියෙන තැන්පත්රුවන්ගේ මුදල් ආරක්ෂා කර ගැනීමයි. ඒක තමයි තිබෙන ලොකුම සමාජ බලපෑම. ඒ නිසා බැංකුවලට අත තියන්නේ නෑ.

ඊළඟට විශ්‍රාමික අරමුදල් (superannuation fund) ගත්තොත් බැංකුවලට සාපේක්ෂව අඩුවෙන් බදු ගෙවන 14%ක බදුවලට යටත් වූ ඊ පී එෆ් , ඊ. ටී .එෆ් .ඇතුළු බොහෝ දේ තිබෙනවා. මේ සියලු දෙනාගේ තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවලින් යෝජනා කර තිබෙන්නේ තිබෙන සියලු බැඳුම්කර නැවත රජයට අරගෙන අලුතින් බැඳුම්කර නිකුත් කරනවා. ඒවාට 2025 වෙනකම්ම 12%ක් ලැබෙනවා. එතනින් එහාට 9%ක් ලැබෙනවා. අනෙකුත් වැදගත් කාරණය තමයි තමන්ගේ ඊ.පී.එෆ්. එකේ තිබෙන බැලන්ස් එක අඩු වන්නේ නැහැ. ඉදිරියේදී ලැබෙන්න තිබෙන ප්‍රතිලාභය 9% සහතික කරනවා. ආණ්ඩුව පැත්තෙන් සහතික වී තිබෙනවා යම්කිසි ආකාරයකින් එය අඩු වෙනවා නම් භාණ්ඩාගාරය පැත්තෙන් ඒ අඩුව පුරවන බවට.

මේ භාණ්ඩාගාර බැඳුම්කරු හුවමාරුවට සහභාගි නොවන අයට තෝරා ගැනීමක් තිබෙනවා. ඒ තමයි 14% වෙනුවට සාමාන්‍ය අය ගෙවන ආකාරයට 30% බද්දක් ගෙවිය හැකියි.

ඒ අනුව ඔවුන්ට තිබෙන තෝරා ගැනීම තමයි බැඳුම්කර හුවමාරුවට සහභාගි වීම හෝ තමන්ගේ ආදායමෙන් 14%ක් රජයට බදු ගෙවීම වෙනුවට ප්‍රතිශතය 30% දක්වා වැඩි කර ගෙවිය හැකියි. මේ අනුව සති කීපයක් ඇතුළත බැඳුම්කර හුවමාරු සිදුකර ජූලි මාසය ඇතුළත මේක සම්පූර්ණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ. මහින්ද සිරිවර්ධන මහතා-

මේ වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව, සෙනසුරාදා වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය දැන් සිදු වෙමින් පවතිනවා.

කවුරුත් දන්නා පරිදි රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම විශේෂයෙන්ම අත්‍යවශ්‍ය කාරණයක්. මේ වන විට ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ අංගයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අඛණ්ඩව කටයුතු කරගෙන යෑමේදී රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යයි. ඒ යටතේ දේශීය හා විදේශීය ණය වශයෙන් කොටස් දෙකක් තිබෙනවා.

අනික් කාරණා ක්‍රියාත්මක වන අතරතුර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අපි ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා. එම වැඩපිළිවෙළ කඩිනමින් අවසන් කිරීමට අවශ්‍යයි.

ජනාධිපති ආර්ථික උපදේශක ආචර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා-

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමඟ ඒ සඳහා අප පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණියා. නමුත් එහිදී වෙන අවස්ථාවල වගේ නොවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටියා රජයේ සමස්ත ණය තිරසරභාවයට පත්වනතුරු ලංකාවෙන් ඉදිරිපත් කළ යෝජනාව ඉදිරිපත් කළ නොහැකි බව.

සැප්තැම්බර් මාසයේ 01 වැනිදා සිට මාර්තු 20 වැනිදා වනතුරු රජය සහ ජාත්‍යන්තර ණයකරුවන් අතර දීර්ඝ සාකච්ඡාවක් තිබුණා . එහි මූලික අරමුණ වුණේ මූල්‍යකරණ සහතිකයක් එම ණයකරුවන්ගෙන් ලබා ගැනීමයි. අපට එය සම්පූර්ණ කළ හැකි වුණේ මාර්තු මාසයේ දෙවැනි සතියේයි. ඒ අනුව මාර්තු 20 වැනිදා වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වුණා අපේ ඉල්ලීම පිළිගැනීමට සහ ඉදිරි කටයුතු කිරීමට.

වසර 04ක වැඩසටහනක් ඇතුළේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ. එහි ප්‍රධාන අංග 05ක් තිබෙනවා. පළවෙනි එක තමයි ආදායම් පාදක රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණයක් සිදු කළ යුතුයි කියන එක. දළ දේශීය නිෂ්පාද‍නයෙන් 8%කට වැටිලා තිබුණා 2020-21 අවුරුදුවල . ඒ තත්ත්වය ඉහළ නංවා ගන්න අවශ්‍යයයි සහ තවත් කරුණු ඊට අන්තර්ගත වෙනවා. දෙවනි කාරණය තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය . ණය තිරසරභාවය ලංකාවේ නැහැ කියන එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වේ බොහෝ කාලයකට කලින්. තුන්වැනි කාරණය මිල ස්ථායිතාවයක් රට තුළ ගොඩ නඟාගත යුතුයි .හතරවැනි එක මූල්‍ය අංශයේ ස්ථාවරභාවය ආරක්ෂා කර ගැනීම. පස්වැනි කරුණ වශයෙන් දූෂණ විරෝධී ක්‍රියා පිළිවෙතකට ආණ්ඩුව ප්‍රවේශ විය යුතුයි. මේ සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. මේවායින් ණය ප්‍රතිව්‍යුහගතකරණය හැර අනෙකුත් කාරණා සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති දැනටමත් ක්‍රියාත්මකයි. අද අප කතා කරන දේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 42.1 යි. එයිනුත් ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කර ගන්නේ බිලියන 19.8ක ප්‍රමාණයක්. එය ශ්‍රී ලංකා මහ බැංකුව , වාණිජ බැංකු සහ අනෙකුත් බැංකු, සේවක අර්ථ සාධක අරමුදල සහ වෙනත් ආණ්ඩුව ණය සපයා ඇති වෙනත් ආයතන 04ට අයත් වෙනවා. මේ ආයතන අතරේ ණය ප්‍රතිව්‍යුහගතකරණය විවිධාකාරයට සිදු වුණත් අවසන් ප්‍රතිඵලය අප බලාපොරොත්තු වෙනවා කිසියම් ආකාරයක මිශ්‍රිත වැඩපිළිවෙළක් ඔස්සේ යම්කිසි සහන ප්‍රමාණයක් ආණ්ඩුවට ලබා ගැනීමටයි.

මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ.සෙනෙවිරත්න මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.

සමන්මලී ප්‍රියශාන්ති

 

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website