සිකුරාදා, 15 සැප්තැම්බර් 2023 10:32

අලි සබ්‍රි රහීම් අක්කර 214ක ලූනු ගිලලා! Featured

පාඩුව කෝටි 20යි

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් එම දිස්ත්‍රික්කයේ රජයට අයත් අක්කර 214ක ලූනු වගා භූමියක් අනවසරයෙන් අත්පත් කරගෙන ඇතැයි පැවසෙන සිදුවීමක් පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය වී ඇත.

මේ හරහා රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 20කට ආසන්න බවද එම කමිටුවේදී හෙළිව තිබේ.

භූමිය අත්පත්කර ගැනීම හරහා මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් විශාල බදු වංචාවක් ද සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ද පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සමාලෝචනය කිරීම වෙනුවෙන් පැවති මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම වෙනුවෙන් වයඹ පළාත් ආණ්ඩුකාර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එක්ව සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් මෙම ඉඩම් අත්පත් කර ගැනීම සහ බදු වංචාව ද සිදුකර ඇති බැවින් එයට දඬුවම් කර පාඩුව අයකර ගැනීම වෙනුවෙන් ක්‍රියාකිරීම අධිකරණයට සහ නිලධාරීන්ට භාර වන බව ද කමිටු සභාපති, චින්තක මායාදුන්නේ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

නීති විරෝධීව මෙරටට රත්‍රං ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා මීට ප්‍රථම වරදකරු කර තිබිණි.

සුජීව තත්සර

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website