බදාදා, 29 නොවැම්බර් 2023 10:19

පාඩු ලබන රූපවාහිනි සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරනවා – ඇමැති බන්දුල ගුණවර්ධන Featured

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය. ඒ එම කාරක සභාව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

2015 සිට සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් මෙම නාලිකා ද්විත්වය අලාභ ලබා ඇති ආකාරය සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277ක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වන විට රුපියල් මිලියන 457ක් අලාභ ලබා ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බව පෙන්වා දුන් සභාපතිවරයා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු

සමාගමක් බවට පත් කිරීමට සැළසුම්කර ඇති බව ප්‍රකාශ කළේය. ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවද සභාපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කරන විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍ය මගින් ප්‍රමාණවත් ප්‍රචාරණයක් ලබා නොදෙන බව කාරක සභාව තුළ අදහස් පලවිය. සංවර්ධනයට ලක්විය යුතු ගොඩනැගිලි, මාර්ග, පාලම් ආදී විවිධ දෑ හේතුවෙන් පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතා මාධ්‍ය මගින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු මහජනතාවට ලැබී ඇති පහසුකම් පිළිබඳවද රාජ්‍ය මාධ්‍ය මගින් දැනුවත් කිරීම සිදු කළයුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website