සදුදා, 04 දෙසැම්බර් 2023 11:00

බොරු එපා ලංවිමේ වියදම බිලියන 575 යි විදුලි බිල වහා අඩු කළ යුතුයි Featured

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක

මේ වසරේ ලංවිම වියදම රුපියල් බිලියන 575 ක් බවට තමා කළ පුරෝකථනයන් නිවැරදි බවත් ඒ අනුව සලකා බලා ජනතාවගෙන් වැඩිපුර අයකරගත් මුදල් විදුලි බිල අඩුකර නැවත ජනතාවට ලබාදිය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඊයේ (3 දා) පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ වසර මුලදී ලංවිම, කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව මගින් 2023 ලංවිම වියදම රුපියල් බිලියන 720 ක් ලෙස පුරෝකථනය කර තිබුණා. නමුත් එය වැරදියි. ඒ අවස්ථාවේදී මා විසින් කළ පුරෝකථනය අනුව ලංවිම වියදම රුපියල් බිලියන 575 කට සීමා වෙනවා. ඒ අනුව මේ වසරේ පෙබරවාරි 15 ට පෙර සකස් කළ ගාස්තු සංශෝධනය මගින් ලංවිමට රුපියල් බිලියන 575 ක් උපයාගත හැකි පරිදි සාධාරණ ගාස්තු වැඩි කිරීමක් සකස් කළා. ඒ අනුව සියයට 35 ක ගාස්තු වැඩිකිරීමක් මේ වසරටම ප්‍රමාණවත් වන බව මම පෙන්වා දුන්නා. නමුත් අවාසනාවකට මා කළ නිර්දේශය වෙනුවට ලංවිම කළ යෝජනාව එලෙසම ක්‍රියාත්මක කළා. ඒක නිසා ලංවිමට අධික ලාභයක් ලැබෙන තත්ත්වයක් උදාවුණා. විදුලි පාරිභෝගිකයා සූරාකෑමට ලක්වුණා. දැන් වෙනකොට මාස 11 ක් අවසන් වී තිබෙනවා. මාස 11 ක සත්‍ය දත්ත මේ වනවිට නිකුත්වී අවසන්. මුල් මාස 11 තුළ ලංවිම වියදම රුපියල් බිලියන 540 කට ආසන්නයි.

දෙසැම්බර් මාසයේදී තවත් බිලියන 38 ක වියදමක් ඇස්තමේන්තු කළ විට වසරේ සමස්ත වියදම රුපියල් බිලියන 575 කට ආසන්න වෙනවා. මේ වියදම පූරණය සඳහා ඒකකයක සාමාන්‍ය මිල රුපියල් 42 ක් තිබුණා නම් ප්‍රමාණවත්. මම මේ වසර මුලදී නිර්දේශ කළේ ඒකකයක වියදම රුපියල් 42 ක් කියන පදනම යටතේ සකස් කළ ගාස්තු ක්‍රමයක්. එම ක්‍රමය මුළු වසරටම ප්‍රමාණවත්. ඒ ගාස්තු ක්‍රමය යටතේ ලංවිම සමස්ත වියදම රුපියල් බිලියන 575 ක් කියල ගණනය කළා. එය සත්‍ය බවට දැන් තහවුරු වෙලා තිබෙනවා. මෙය සත්‍ය තත්ත්වය වුවත්, ලංවිම මේ වසරේ දෙවරක් ගාස්තු වැඩි කළේ මේ සත්‍ය වියදම පදනම් කරගෙන නෙවෙයි. ඔවුන් පදනම් කරගත්තේ ලංවිම වාර්ෂික වියදම රුපියල් බිලියන 720 ක් බවට. ඒ අනුව විදුලි ඒකකයක් වෙනුවෙන් පාරිභෝගිකයාට ගෙවන්න වෙලා තිබෙනවා රුපියල් 50 ක පමණ වියදමක්. වැරදි ලෙස වියදම ඇස්තමේන්තු කළ නිසා ලංවිමට දැන් අධික ලාභයක් ලැබෙනවා. ආර්ථිකයට විශාල හානියක් වුණා. කර්මාන්ත ශාලා වැසී ගියා. පාරිභෝගිකයො පරිභෝජනය අඩු කළා. ලක්‍ෂ ගණනක විදුලිය විසන්ධි කළා. දැන් වහාම කළ යුත්තේ විදුලි ගාස්තු අඩුකිරීමයි. සෘජුවම විදුලි පාරිභෝගිකයාට වාසිය ලබාදිය යුතුයි.
චමින්ද සිල්වා

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website