බදාදා, 13 මාර්තු 2024 08:16

ඔන්මැක්ස් ඩීටී සභාපති ජනතා මුදල් කෝටි 1500ක් අන්තර්ජාල ගිණුමට දාගෙන ජෝර්ජියානුවාගේ ගිණුමට කෝටි 59ක් Featured

නීති විරෝධී පිරමිඩාකාර ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ සභාපති මධුරංග ප්‍රසන්න සමරකෝන් නොහොත් ‘සෑම් බස්නායක’ යන අය මෙරට ජනතාව එම සමාගමේ ආයෝජනය කළ මුදල්වලින් රුපියල් කෝටි 1500ක පමණ මුදලක් සිය අන්තර්ජාල ගිණුමේ (බයිනෑන්ස් වොලට්) තැන්පත් කරගෙන ඇතැයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

සෑම් බස්නායක යන අය මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ඔහුට අයත් අතත්‍ය මුදල් ගිණුමේ (බයිනෑන්ස් වොලට්ටුවේ) අතත්‍ය මුදල් (ක්‍රිප්ටෝ කරන්සි) යූඑස්ඩීටී හතළිස් හත් ලක්ෂ අනූදහස් හයසිය අසූ පහක මුදලක් (USDT 4790685) (එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1500ක් පමණ) තැන්පත්ව ඇති බවත් එම මුදල් මෙරට ජනතාව ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගමට ආයෝජනය කළ, පිරමිඩාකාර ගනුදෙනුවලින් උපයාගත් ඒවා බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. ඔන්මැක්ස් ඩී.ටී පුද්ගලික සමාගමේ සභාපතිවරයා වන සෑම් බස්නායක යන අය සමඟ මෙම පිරමීඩ වංචාවට හවුල් වී ඇති ජෝර්ජියානු ජාතිකයකු වන කකබර් අස්ලානිස්විලි නමැත්තාගේ නමින් තිබූ අතත්‍ය මුදල් ගිණුමක (බයිනෑන්ස් වොලට්ටුවේ) අතත්‍ය මුදල් (ක්‍රිප්ටෝ කරන්සි) යූඑස්ඩීටී දාහත් ලක්ෂ අනූ පන්දහස් හාරසිය හැට අටක මුදලක් (USDT 1795468) (එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 592ක් පමණ) තැන්පත්ව ඇති බවත් එම මුදල් ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගමේ ගිණුම්වලින් හුවමාරු වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. 2021 වර්ෂයේ සිට මේ දක්වා මෙම පිරමීඩ වංචාව සිදුවෙමින් පවතින අතර අතත්‍ය මුදල් සහිත මෙම ගිණුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහකාර අධ්‍යක්ෂ තරිඳු ගයාන් මහතා සමීක්ෂණයක් සිදු කර ඇති බවත් එහිදී ඔන්මැක්ස් වෙබ් අඩවියට ඇතුළත් කරන අන්තර්ජාල මුදල් ගිණුම් සහිත ලිපින විනාඩි 05කට වතාවක් වෙනස් වන බවට හඳුනාගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඔන්මැක්ස් ඩීටී සමාගමේ වෙබ් ගිණුමේ ක්‍රිප්ටෝ ලිපින 5560ක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඇති අතර එහි තිබූ ලිපින 479ක තිබූ අතත්‍ය මුදල් ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි දාහත්ලක්ෂ හැටනව දහස් නවසිය පහක මුදලක් මෙම නඩුවේ සැකකරුවකු වන ඔන්මැක්ස් ඩීටී හි අධ්‍යක්ෂවරයකු වන සාරංග රන්දික ජයතිස්ස යන අයගේ අතරමැදි ගිණුම් 04කට මාරුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර තිබූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව, මෙම නඩුවේ සිව්වැනි සැකකාර සාරංග රන්දික ජයතිස්ස යන අය විසින් මෙරට මුදලින් රුපියල් කෝටි 300කට අධික මුදල් ප්‍රමාණයක් ඍජුවම සෑම් බස්නායක යන අයගේ බැංකු ගිණුම් වෙත බැර කර ඇති බවට මේ වන විට තොරතුරු හෙළිවී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

නිමන්ති රණසිංහ

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website