සදුදා, 20 මැයි 2024 11:40

දූෂණ වංචා අවම කිරීමට සාර්ථක වැඩපිළිවෙලක්… Featured

දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා සඳහන් කළේය.

වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් සිදුකරන රාජ්‍ය සේවකයන් තම යුතුකම ද නිසි ලෙස ජනතාවට ඉටුකළ යුතු බවත් දේශපාලන තන්ත්‍රය මඟින් සිදු කළ හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය පමණක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

 

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා මෙසේද සඳහන් කළේය,

 

විවෘත හා වගවීම සහිත රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මේ වන විට මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. විවෘතව සහ වගවීමෙන් යුක්තව රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අපට පැවරී තිබෙනවා. ඊට අදාළව ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් රාජ්‍ය සේවයේ ඇති කාර්ය සාධනයන් විමර්ශනයට ලක් කෙරෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතිය, අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සියල්ලේම වාර්ෂික කාර්ය සාධන වාර්තා අප විසින් අධ්‍යයනය කරනවා.

 

නමුත් විගණකාධිපතිවරයාගේ වාර්තාවලට අනුව ඇතැම් ආයතනවල කාර්ය සාධනය 23%ක් පමණ වන බව පෙනී ගොස් තිබෙනවා. ඒ සම්බන්ධව හේතු විමසූ විට විවිධ පිළිතුරු ලැබෙනවා. කෙසේ නමුත් පවතින මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා පසුගියදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ජනතාවට සමීපව සේවය කරන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ වැඩමුළුවක් පැවත්වීමට කටයුතු කළා. එහිදී ජනාතාවට කාර්යක්ෂම හා සුහදශීලී සේවයක් සිදු කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම සිදු කෙරුණා.

 

ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ යුතුකම මෙන්ම වගකීම සහ වගවීම වන්නේ, ජනතාවට සේවය කිරීමයි. මේ වසරට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විසින් රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් සිදු කළා. ලබන වසරට ද වැටුප් වැඩිවීමක් සිදුකරන බව සඳහන් කර තිබෙනවා. මෙහිදී වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් සිදුකරන රාජ්‍ය සේවකයන් තම යුතුකම ද නිසි ලෙස ජනතාවට ඉටුකළ යුතුයි. දේශපාලන තන්ත්‍රය මඟින් සිදුකළ හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය පමණයි. කඳුළු පිරි දෙනෙතින් රාජ්‍ය ආයතනයට එන ජනතාව සිනා මුසු මුවින් ආපසු යැවීමට රාජ්‍ය අංශය සමත්විය යුතුයි.

 

ඒ වගේම රාජ්‍ය අංශය දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම පවතින ක්‍රම යාවත්කාලීන කිරීමට ද අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

 

රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සඳහා පහසුකම් ලබාදිය යුතු වනවා. එමෙන්ම පුරප්පාඩු පවතින තනතුරු සඳහා පත්කිරීම් සිදුකළ යුතු වනවා. රාජ්‍ය සේවකයන්ගේ කාර්ය භාර්ය පිළිබඳව යම් සමීක්ෂණයක් සිදු කිරීම ද අවශ්‍යව පවතින බව සඳහන් කළ යුතුයි.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website