බ්‍රහස්පතින්දා, 25 ජූලි 2024 11:44

හිඟ සුරාබදු මිලියන 600 යි කිව්වට රුපියල් මිලියන 6000 පැනලා… Featured

සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතු සුරාබදු ප්‍රමාණය රු. මිලියන 600 කට ආසන්න බව නිලධාරීන් විසින් ප්‍රකාශ කොට ඇති බවත්,

එහි යථා තත්ත්වය වන්නේ 2024-06-30 වන දා වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 6,075 ක් බදු අය විය යුතුව තිබෙන බව යැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ;

 

මේ රුපියල් මිලියන 6,075 න්

 

1. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම – රු. මිලියන 3447
2. වයඹ ඩිස්ටිලරීස් – රු. මිලියන 560
3. වයඹ ස්පිරිට් – රු. මිලියන 281
4. ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් – රු. මිලියන 1148
5. මැක්ලන්ඩ් බ්ලූවරීස් – රු. මිලියන 619
6. කළුතර සමූපකාරය – රු. මිලියන 17 වශයෙන් හිඟ සුරාබදු අය කර ගත යුතුව තිබෙන බව ය.

 

මීට පෙර මේ ආකාරයෙන් සුරා බදු නොගෙවා සිටි සමාගම් වන ෆින්ලඩ්, සිනර්ජි සහ රන්දෙණිගල යන සමාගම් තම සුරාබදු ගෙවීම සිදු කොට ඇති බව සඳහන් කළ රණවක මහතා; මෙම ලැයිස්තුවෙන් සමහර සමාගම් වසා දමා ඇති බවත්, තවත් සමහර සමාගම් සම්බන්ධ නීතිමය කටයුතු සිදු කෙරෙන බවත් සඳහන් කළේය.

 

මෙම හිඟ සුරාබදු අය කර ගැනීම අවශ්‍ය ප්‍රමානයට වඩා පමා කිරීම කාලාන්තරයක් තිස්සේ ඇති වූ තත්ත්වයක් බව ද, බදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියා නොකිරීම නිසා මේ ආකාරයෙන් සුරාබදු නොගෙවා තම ව්‍යාපාර පවත්වාගෙන යාමේ හැකියාව මොවුන්ට ලැබී තිබෙන බව ද, රණවක මහතා පෙන්වා දුන්නේ ය.

 

2023 නොවැම්බර් මස 01 වෙනිදා සිට මෙවැනි බදු නොගෙවීමක් නිසා තාවකාලිකව මෙම සමාගම්වල බලපත්‍ර තහනම් කරන ලද අතර, එම අවස්ථාවේ දී දවස් 4 ක් ඔවුන් බදු ගෙවීම නැවත ආරම්භ කරන ලදී.

 

නමුත් නැවතත් බදු පැහැර හැරීම සිදු කළ ද, ක්‍රම සහ විධි පිළිබඳ කමිටුව විසින් දෙසැම්බර් මාසයේ දී බලපත්‍ර තාවකාලිකව නතර කරන ලෙස ලබා දුන් නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම හිඟ සුරා බදු ප්‍රශ්න මේ ආකාරයෙන් ඇති ව තිබෙන බව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

 

හිඟ සුරාබදු අය කරගැනීම සඳහා අදාළ සමාගම්වල බලපත්‍ර තාවකාලිකව නතර කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කමිටුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත ලිඛිතව ම දැනුම් දී ඇති බව ද රණවක මහතා අවධාරණය කරන ලදී.

 

වැඩිදුරටත් කරුණු දැක්වූ රණවක මහතා; ඩිජිටල් යටිතල පහසුකම් (Digital Public infrastructure – DPI) ලංකාවේ රාජ්‍ය අංශය සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී විශේෂ අවධානය යොමු වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් (Presentation) සිදු කරමින් කාරක සභාව දැනුවත් කිරීමක් සිදු කළ බව ද ප්‍රකාශ කළේය.

 

ලෝකයේ අනෙක් රටවල් සහ විශේෂයෙන් ම ආසියානු කලාපයේ ඉන්දියාව සහ බංග්ලාදේශය මෙම පහසුකම ක්‍රියාත්මක කර තිබෙන අතර, පාකිස්තානයේ මේ වන විට එය ක්‍රියාත්මක කරමින් සිටින නමුත්, ලංකාවේ මෙම වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.

 

එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම්, රටේ සෑම පුරවැසියෙකුට ම නිශ්චිත හඳුනා ගැනීමේ අංකයක් සියලුම රාජ්‍ය ආයතන වෙත ලැබෙන අතර, ග්‍රාම සේවකවරයෙකුගේ පටන් රජයේ අමාත්‍යාංශයක් දක්වා වූ සියලු ම රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේ පහසුකමක් මෙමගින් ලැබෙනු ඇති බවත් රණවක මහතා පෙන්වා දී තිබේ.

 

ඒ ඒ රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරුව ද නිසි කාර්යක්ෂමතාවයෙන් යුතුව සිදු කිරීමට මෙම පහසුකම මගින් ඉඩ සැලසෙන බව ද, දැනටමත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන තමන්ට අනන්‍ය වූ ඩිජිටල් පද්ධතීන් ක්‍රියාත්මක කළ ද, සාමූහික ක්‍රියාදාමයක් සිදු නොවන බව රණවක මහතා පෙන්වා දී ඇති අතර, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ මින් පෙර මතු වූ කරුණු මත දශකයකට අධික කාලයක් ප්‍රමාද වී තිබෙන ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තිබෙන ආයතන තුන විධිමත් ආදායම් එකතු කිරීමේ ක්‍රියාදාමයකට යොමු කිරීම සඳහා සියලු ම ගෙවීම් කටයුතු හා ගනුදෙනු සඳහා ඉලෙක්ට්‍රොනික වේදිකාවක් ඇති කිරීමේ අවශ්‍යතාව සහ ආනයනය කෙරෙන ආහාර, ඉන්ධන සහ ඖෂධ, පොහොර වැනි දෑට විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් සිදු කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික හුවමාරු මධ්‍යස්ථානයක අවශ්‍යතාව මෙහිදී තමන් විසින් තාක්ෂණික අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත පෙන්වා දුන් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website