බදාදා, 14 අගෝස්තු 2024 09:44

ජල ගාස්තු 7%කින් පහළට Featured

සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩයේ ජල ගාස්තු සියයට 7කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ජල ගාස්තු සංශෝධනය කිරීමට ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය. රජයේ රෝහල්වල සියයට 4.5කින්, පාසල් සහ පුණ්‍ය ආයතනවල සියයට 6.3කින් අඩු කිරීමටත් ඒ අනුව සමස්ත අඩු කිරීමේ සාමාන්‍යය සියයට 5.94 වන බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් දැනට පවතින ජල ගාස්තු 2023.08.01 වැනි දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, එම ගාස්තු සමාලෝචනය කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීමට 2024.07.15 වැනි දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව ඒ මහතා කියා සිටියේය. 2024.07.16 වැනි දින සිට ලංකා විදුලිබල මණ්ඩලය මඟින් විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් සහ ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩු වීම සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු යම් ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ඇමැතිවරයා පැවසූ බව ගුණවර්ධන මහතා කීවේය.

නුවන් කොඩිකාර

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website