අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2024 10:34

කෘෂිකර්ම ගොඩනැඟිල්ලට දුන් කෝටි 63ක තැන්පතුව ආපසු ගෙන නෑ Featured

මෙයට වසර කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ල සඳහා ලබාදුන් රුපියල් කෝටි 63ක තැන්පතු මුදල මේ වන තෙක් ආපසු අමාත්‍යාංශයට ලබාගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

මේ පිළිබඳව දිනමිණ කළ විමසුමකදී එම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පැවැසුවේ 2021.04.07 දින කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි අදාළ ගොඩනැඟිල්ලෙන් බත්තරමුල්ලේ පිහිටි ගොඩනැඟිල්ලට ගෙන ගියද මෙම තැන්පතු මුදල ආපසු ලබා දී නැති බවයි. මේ සම්බන්ධයෙන් අදාළ ගොඩනැඟිල්ල අයිති පාර්ශ්වයන්ට කීප වතාවක් අමාත්‍යාංශය මඟින් දැනුම් දී තිබුණද එම තැන්පතු මුදල ලබාදෙන නිශ්චිත ක්‍රමවේදයක් හෝ කාලයක් දැනුම් දීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

එබැවින් එම පාර්ශ්වයන්ට නඩු පැවැරීමට නීතිපතිවරයා වෙත භාර දුන් බව ද ලේකම්වරයා පැවැසීය. පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යම් යම් අක්‍රමිකතා සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම් ආරම්භ කර ඇති බවත් වික්‍රමසිංහ මහතා අදහස් ද පළ කළේය. ‘පසුගිය වසර ගණනාවක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ සිදු වී ඇති යම් යම් අක්‍රමිකතා දැන් අනාවරණය වෙමින් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය කාලයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාමේ දී රුපියල් කෝටි 63ක තැන්පතු මුදලක් ලබා දී තිබෙනවා. මේ වගේ ගනු-දෙනුවකදී සාමාන්‍යයෙන් බැංකුවකින් බැඳුම්කරයක් ලබා ගන්නවා. එසේ අරගෙනත් නෑ. දැනට එම ගොඩනැඟිල්ල එම අයිතිකරුවන්ට භාරදීලා තියෙන්නේ.

නමුත් තවමත් එම තැන්පතු මුදල ලබාගෙන නැහැ. තැන්පතු මුදල පිළිබඳව විමසූ විට ඔවුන් කල්මරමින් එය ලබාදීම ගැන පැහැදිලි පිළිතුරු ලබා දෙන්නේ නෑ. රුපියල් කෝටි 63ක මුදලක් 2021- 2024 දක්වා කාලය තුළ බැංකුවක තැන්පත් කළා නම් අතිවිශාල පොලියක් ලබා ගන්න පුළුවන්. මේ වගේ සිද්ධි ගණනාවක් තිබෙනවා. පොහොර බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා‍. ඒ ගැනත් ඉදිරි කාලයේ දී විමර්ශන ආරම්භ කරනවා’ යැයි ද ලේකම්වරයා අවධාරණය කළේය.

 

 

බුද්ධිකා ඉඹුලාන

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website