සිකුරාදා, 25 ඔක්තෝබර් 2024 11:09

රාජ්‍ය සේවය විධිමත් කිරීමට හා විනිවිධභාවය උදෙසා ඩිජිටල්කරණය කළ යුතුයි – අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය Featured

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, පෙරේදා (23 දා) පස්වරුවේ කොළඹදී පැවති ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය සමරමින් සංවිධානය කළ තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමිනි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරන්න අපේ රජයට දැක්මක් තිබෙනවා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය සංවර්ධනය කිරීම, ඩිජිටල් ආර්ථීකයක් නිර්මාණය කිරීම මූලික කරගත් ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි.

යාපනය, මාතර සහ නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගත් ඩිජිටල් කළාප ඇතිකිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ජාත්‍යන්තර ඩිජිටල් සමාගම් සහ දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නවෝත්පාදකයින් අතර සබඳතාවක් ඇති කිරීමත් අවශ්‍යයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය නංවාලීම, ඒ සඳහා පහසුකම් සැපයීම, වෘත්තීයවේදීන් සඳහා අවශ්‍ය දීමනා ලබාදීමත් වැදගත්.

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කළ යුතුයි. ඒවගේම ඩිජිටල් අංශය සඳහා කාන්තා දායකත්වය වැඩිකිරීමත් අවශ්‍යයි. මේ සඳහා සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ සභාපති ඊ. ඇලන්සෝ ඩොල්, ලේකම් සංජීව පෙරේරා යන මහත්වරුන් ඇතුළු සම්මානලාභීන් සහ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්, නවෝත්පාදකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

DN

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website