සෙනසුරාදා, 06 මැයි 2023 22:03

අපේම එප්පාවල ස්වාභාවික පොස්පේට්වලින් නිපදවන AMANO SSP පොහොර නොබෝ දිනකින් ගොවි බිමට Featured

එප්පාවල ස්වාභාවික පොස්පේට් නිධිය භාවිත කර Single Super Phosphate හෙවත් SSP පොහොර මෙරට නිෂ්පාදනය කරන පළමු සමාගම ලෙස අමානෝ Fertilizer ඉතිහාසයට එක්ව තිබේ.

මෙතෙක් කලක් ඩොලර් මිලියන ගණනින් විදේශ මුදල් වැය කොට, බැර ලෝහ සහිත Triple Super Phosphate හෙවත් TSP ගෙන්වා ලංකා මහ පොළොවට හැලුවා විනා, කිසිවකුටත් දේශීය පොස්පේට් භාවිත කර Single Super Phosphate වැනි ගුණාත්මක පොහොරක් නිෂ්පාදනය කිරීමට වුවමනාවක් තිබුණේ නැත. ඒ වෙනුවෙන් වසර 14ක අඛණ්ඩ උත්සාහයක යෙදුණු AMANO සමූහ ව්‍යාපාරයේ සභාපති සරත් ඩි. කොස්තා මහතා, ඒ අභියෝගය ජය ගෙන තිබේ.

ඒ අනුව, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය ලත් දේශීය නිෂ්පාදනයක් ලෙස දොරට වඩින AMANO SSP පොහොර සහ මිශ්‍ර පොහොර මෙතැන් සිට අපේ රටේ කෙත්වතු ගොවිබිම් සරුසාර කරනු ඇත.

AMANO සමූහ ව්‍යාපාරයේ සභාපති සරත් ඩි. කොස්තා මහතා, ඒ පිළිබඳ පවසන්නේ මෙවැනි අදහසකි.

"මහ පොළොවට හොඳ පොහොරක් ලැබෙන එක අත්‍යවශ්‍ය කාරණයක් වගේම, අපේ රටේ කෘෂිකර්මාන්තයේ වෙනස් විය යුතු තැන් ගණනාවක් තිබෙනවා. ගොවි මහත්වරු තවම හරියටම දන්නේ නැහැ, එක කන්නයක් අවසානයේ දී ඊළඟ කන්නය වපුරන්නට ප්‍රථම පස පරික්ෂා කරන්නට අවශ්‍ය බව. මොකද, ඊළඟ කන්නයට පොහොර කොයි තරම් අවශ්‍ය ද කියන නිවැරැදි නිගමනයට එන්න නම් පසේ නියම තත්ත්වය පිළිබඳ ගොවියාට මූලික දැනුමක් තිබිය යුතුයි. එවිටයි, පොහොර අවශ්‍යතාව පිළිබඳ නිසි වැටහීමක් ලැබෙන්නේ.

අනවශ්‍ය ලෙස සහ සීමා රහිතව රසායනික පොහොර යෙදීම නිසයි, පස විනාශ වන්නේ. කන්නයකින් පසු ඊළඟ කන්නය වපුරන්නට පෙර පස් පරීක්ෂාව අනිවාර්ය කිරීමට, රජය දැන්වත් කටයුතු කළ යුතුයි. ලංකාවේ මේ පස් පරික්ෂා කිරීමේ උපකරණ තිබෙන බව දැන ගන්නට ලැබුණා. උපකරණ තිබුණත් අදාළ රාජකාරිය සිදු වන්නේ නැහැ. ගොවියාට නිකම් පොහොර ටික දෙන එක නෙවෙයි අවශ්‍ය වන්නේ. මේ දැනුම දීමත් අත්‍යවශ්‍යයයි. ඒ වගේම ගොවීනුත් දැන ගත යුතුයි, හිතේ මිම්මට පොහොර යොදනවා වෙනුවට තමනුත් උනන්දු වී පස් පරීක්ෂාව කරගන්න.

දශක ගණනාවක් ම අපේ මහ පොළොවට වැටුණේ චීනය, වියට්නාමය, බර්මා, වැනි රටවලින් ගෙනා Triple Super Phosphate. ඒ රටවල පොස්පේට් නිධි අනුව ඒවායේ බැර ලෝහ ප්‍රමාණ වෙනස් වනවා. එය බොහෝ විට පරිභෝජනයට නුසුදුසු ඉහළ අගයක්. මේවා බොහෝ විට ගෙන්වන්නේ ටෙන්ඩර් මඟින්. තත්ත්වයෙන් බාල වුණත් ලාභ ටෙන්ඩරයටයි අවස්ථාව ලැබෙන්නේ. තත්ත්වය හොඳයි කියන්නේ, බැරලෝහ අවමයි කියන එක. නමුත් මෙතෙක් කලක් එහෙම වෙලා නැහැ. අපේ රටේ ගොවීන්ට සහ කෘෂිකර්මාන්තයට ප්‍රශ්න රැසක් ආවේ මේ ප්‍රමිතියක් නැති පොහොර ගෙන්වීම නිසා. දැන්වත් මේ තත්ත්වය වෙනස් කරන්න රටක් හැටියට පෙළ ගැහෙන්න ඕනේ.

Single Super Phosphate නිෂ්පාදනය කරන්නට පෙර අපේ එප්පාවල ස්වාභාවික පොස්පේට් සාම්පල ලන්ඩනයේ පරීක්ෂණාගාරවලට යවා පරික්ෂා කළ අවස්ථාවේ ඒ අය කිව්වේත් ශ්‍රී ලංකාව සතුව තිබෙන්නේ High Quality පොස්පේට් නිධියක් බවයි. ඉතින් මෙවැනි උසස් ස්වාභාවික සම්පතක් තියාගෙන ඇයි අපි වස විස පසට එකතු කරන්නේ..."

ශ්‍රී ලංකාව ප්‍රයෝජනයක් නොගත්තාට, අවුරුදු තිහ හතළිහක් තිස්සේ තම රටේ ස්වාභාවික සම්පත්වලට අගය එකතු කළ වටිනාකමක් දෙන්නට ඔහු බොහෝ වෙර වෑයම් දැරුවේ සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රයෝජනයට ගනිමිනි. සරත් ඩි. කොස්තා යනු කවුරුන්දැයි වත්මන් පරම්පරාව දැනගත යුත්තේ එහෙයිනි.

1981 සිට 1997 දක්වා ඔහු ජපානයේ සිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ය. 1993 වසරේ සිට අද දක්වා Colombo Dockyard සමාගමේ උප සභාපතිවරයා ඔහු ය. පසු කලෙක Water's Edge හි උප සභාපතිවරයා ය.

ඒ සියල්ල අභිබවා අවසර 43 ක් අඛණ්ඩව මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැඳෙමින්, අලුත් දෑ එක් කරමින් AMANO සන්නාමය ලංකාවට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ද ඔහුට ය. අද අමානෝ ෂීට් නිෂ්පාදනය කරන විවිධ ආයතන බිහිව තිබුණත්, වසර 43කට පෙර ඔහු AMANO සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආරම්භ කළේ, ජපන් තාක්ෂණය සමඟ ය. ජපන් රජය ඇතුළු බොහෝ රාජ්‍යයන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ඇසුර ඇති සරත් ඩි. කොස්තා, විදේශ ආයෝජන පිළිබඳවත් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේත් අත්දැකීම් බහුල අති දැවැන්තයකු වුවද ඉතා නිහඬ චරිතයකි.

ජපානයේ කොන්සල් ජනරාල්වරයා ව සිටි සමයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු කළ කී දෑ අපමණ ය. විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, ආයෝජකයින් හඳුන්වා දීම, සංචාරක ව්‍යාපාරය නැංවීමට කටයුතු කිරීම, අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකේය ජනතාවට ජපන් ආධාර ලබා දීම, ඇතුළු බොහෝ දෑ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කළේය.

ඊට අමතරව, ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඔහු හඳුන්වා දුන් සහෝදර නගර (Sister City) ව්‍යාපෘතිය යටතේ ජපානයේ ඔසාකා හි සුයිටා (Suita) සහ මොරටුව නගරයත්, කියොතෝ (Kyoto) හි උජී (uji) සහ නුවරඑළියත් සහෝදර නගර බවට පත් කළේය.

එයින් දෙරට අතර නගර වැසියන් ගේ සබඳතා ගොඩනැඟීමත් සමස්තයක් ලෙස ජපානය සහ ශ්‍රී ලංකාව අතර බැඳීම් ශක්තිමත් කිරීමත් අරමුණු විය.

උජී (Uji) යනු, ජපානයේ Green Tea සඳහා ප්‍රචලිත ම නගරය වූ අතර, Black Tea සඳහා ලොව ප්‍රචලිත ම ශ්‍රී ලාංකේය නගරය වන නුවරඑළිය යන නගර දෙක සමීප කරවීමෙන් අපේ රටේ ප්‍රධාන ව්‍යාපාරික බෝගය වූ තේ සඳහා සුවිශේෂ වෙළෙඳපොළක් නිර්මාණය කර දීමට ද ඔහු කටයුතු කළේය.

මේ ආකාරයෙන් ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමට දරන ලද දායකත්වය සහ කැපවීම අගයා 2016 වසරේ දී ජපන් රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඔහුට ගෞරව නාමයක් ද පිරිනමා තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනයක් නොගන්නා ස්වාභාවික සම්පත් සඳහා නව ව්‍යාපාර අවස්ථා හඳුන්වා දීම සඳහා ඔහු අධ්‍යයන වාර්තා කොතෙකුත් එකල ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළේ ය.

අපේ රටේ ඉල්මනයිට්, ග්‍රැපයිට්, සිලිකා වැලි සහ පොස්පේට් වැනි වටිනා ස්වාභාවික සම්පත් මූලික අවස්ථාවෙන් ම සුළු මුදලකට පිටරට නොයවා, Value Added නිෂ්පාදන ලෙස අපනයනය කරන්නට ඔහු කොතෙකුත් යෝජනා ගෙන ආ අතර, ඉන් වැඩි ආදායමක් රටට උපයා ගත හැකි බවත්, ඒ සඳහා ආයෝජකයින් සොයා දිය හැකි බවත්, සිය වාර්තාවලින් පෙන්වා දුන්නේ ය. ජපානයේ සිට අධ්‍යයන වාර්තා එවූවත් ඒවා ක්‍රියාත්මක කරන්නට වුවමනාවක් ඇති නිලධාරීන් ශ්‍රී ලංකාවේ නොසිටි හෙයින් එම යෝජනා හමස් පෙට්ටියේ පතුලේ ම ගිළී ගියේ ය.

වසර ගණනක ඇවෑමෙන් 2009 වසරේ ඔහු එප්පාවල රොක් පොස්පේට් නිධිය වෙත ගියේ තමන් හෝ පුද්ගලිකව එම කටයුත්තට අතගැසීමට ය.

"2009 පළමු වතාවට මං ලංකා පොස්පේට් සමාගමට ගියේ ඒ අයත් එක්ක මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න. ඒ වෙලාවේ හිටි අය මට කීවේ, ඔබතුමා මේ රටට කරන්න යන්නේ මහා මෙහෙවරක් කියලා. මොකද, අපිට ධන නිධානයක් වගේ පොස්පේට් නිධියක් තිබෙනවා. විෂයට අදාළ රාජ්‍ය ආයතනයක් තිබෙනවා. නිලධාරීන් සිටිනවා. නමුත් සිද්ධ වුණේ පොස්පේට් කුඩු කරලා මූලික අවස්ථාවෙන් ම දීපු එක විතරයි. මම ඒ වෙලාවේ SSP හදන්න මූලික කටයුතු වාර්තා, ව්‍යාපෘති වාර්තා වැනි සැලසුම් ඉදිරිපත් කළා. පරීක්ෂණ කෙරෙව්වා. බොහෝ වරක් අදාළ රාජ්‍ය ආයතනවලට ඇවිද්දා. රුපියල් මිලියන 150ක් විතර වැය කරලා සෑහෙන වෙහෙසුණා. අවුරුදු ගණනාවක් නිලධාරීන්ගේ කඹ ඇදිල්ල මිස වැඩේ කෙරුණේ නැහැ. ඇත්තටම 2009 ඉඳන් මේ දක්වාම මම රස්තියාදු වුණා. ටික කාලයක් අතෑරලා දාලා හිටියා. අන්තිමේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වර්තමාන අධ්‍යක්ෂතුමා මුණගැහුණා ට පසු සියල්ල වෙනස් වුණා. ඔහු ඉතා ප්‍රායෝගිකව මේ කාරණය දිහා බැලුවා. ක්‍රියාත්මක වුණා.

2009 පටන් ගත් උත්සාහය 2023 හරි සාර්ථක කරගන්න ලැබුණේ, රට ගැන හිතන එක් රාජ්‍ය නිලධාරියෙක් හරි මේ ආයතනවල හිටපු නිසා. දැන් අපිට SSP ලයිසන් එක සහ Formulation ලයිසන් එක තිබෙන නිසා එළවළු, පලතුරු, අල වර්ග, කෙසෙල් ඇතුළු ඕනෑම වගාවක් සඳහා මිශ්‍ර පොහොර නිෂ්පාදනය කරන්නටත් අවස්ථාව තිබෙනවා. අපි දැන් ඒ මිශ්‍ර පොහොර නිෂ්පාදනය කරනවා.

රත්මලාන ප්‍රධාන කර්මාන්තශාලාවේ පළමු අදියරේ දී දිනකට නිෂ්පාදනය කළ හැකි ධාරිතාව ටොන් 16ක්. නමුත් රටේ වාර්ෂික අවශ්‍යතාව ටොන් 200,000 සිට 250,000ක්. එම නිසා ඉදිරියේ දී, වී වගාව බහුලව කෙරෙන පළාත් ඉලක්ක කරගෙන එවැනි කර්මාන්ත ශාලා පහක් ව්‍යාප්ත කිරීමට අප සැලසුම් කරනවා.

ඒ වගේම, අපි මේ SSP පොහොර කන්න කිහිපයක් තිස්සේ පර්යේෂණ මට්ටමින් අපේම ආදර්ශ ගොවිපළවල යොදා ගෙන ප්‍රතිඵල අත්හදා බැලුවා. පොළොව සකස් කිරීමේ සිට බිත්තර වී ඉස අස්වනු කපන තාක් එම ආදර්ශ ගොවිපළ තූළ සියලු අවස්ථා අප නිරීක්ෂණය කළා. අනෙකුත් පොහොර හා සංසන්දනය කරන විට ප්‍රතිඵල ඉතා ඉහළ බව නිරීක්ෂණය වුණා.

ඒ වගේම, AMANO මිශ්‍ර පොහොර එළවළු වගාවට යෙදීමෙන් එම ප්‍රතිඵලය ම දැක ගන්නට ලැබුණා.

උදාහරණයක් ලෙස, කෝලි ෆ්ලවර් වගාවේ දී, අපේ පොහොරවලින් දින 35න් අස්වනු නෙළා ගන්නට පුළුවන්. නමුත්, සාමාන්‍ය පොහොරවලින් නම් කෝලි ෆ්ලවර් අස්වනු නෙළන්නට දින 50-60ක් ගත වනවා.

බ්‍රොකලි වගාවේ දී අපේ පොහොර යෙදූ විට දින 80කින් ග්‍රෑම් 750 ක් ගත හැකියි. නමුත්, අනෙක් පොහොරවලින් දින 80ක දී හැදෙන්නේ ග්‍රෑම් 300 ක බරක් විතරයි.

මම මේ උත්සාහයේ දී ගොවීන් එක්ක හුගක් වැඩ කළා. වෙලාවට පොහොර නැතිකම, රජයෙන් දෙනවා කිව්වා දුන්නේ නැහැ..., මේ වගේ ප්‍රශ්න රාශියක් ගොවීන්ට තිබූ බව දැන ගන්නට ලැබුණා. මම මේ වැඩේට අතගැහුවේ මේ සියලු පසුබිමත් ඔළුවේ තියාගෙන.

කෙසේ වෙතත් එප්පාවල පොස්පේට් විතරක් නෙවෙයි, බලංගොඩ Feldspar, ඩොලමයිට් සහ කැල්සයිට් වගේම, මොණරාගල තිබෙන කීසරයිට් පාෂාණත් කෘෂිකර්මාන්තයේ දී බොහෝ සෙයින් වැදගත් වනවා. ලෝකයේ බොහෝ රටවල එම පාෂාණ පොහොර සමඟ මිශ්‍ර කර ඉහළ ප්‍රතිඵල ලබා ගන්නවා. අපේ රටේ සම්පතක් ලෙස ඇති මේ පාෂාණ පිළිබඳ, ජපන් තාක්ෂණය ලබා ගෙන මම විශේෂ අත්හදා බැලීම් සිදු කරනවා.

මගේ ඊළඟ අරමුණ, මේ සියලු යහගුණ සපිරි මිශ්‍ර පොහොරක් ලෙස 2 in One පැක් එකක් හදන එක. දැනට අපි Single Super Phosphate හෙවත් SSP පොහොර ගොවීන්ට ලබා දෙන්නේ, ඉතාමත් අඩු මුදලකට.

ගොවීන් වගේම මේ රටේ සෑම පුරවැසියෙක්ම තේරුම් ගන්න ඕනේ රටේ ස්වාභාවික සම්පතක් පාවිච්චි කර එයින් Value Added නිෂ්පාදනයක් කරන විට රටට විදේශ විනිමය ලැබෙනවා. රැකී රක්ෂා උත්පාදනය වනවා. නවීන තාක්ෂණය ලංකාවට ලැබෙනවා. දැනට පිටරටට ඇදී යන විදේශ විනිමය ඉතිරි වනවා. පොහොර නැව් එනකල් බලා සිටින්නට අවශ්‍ය වන්නේ නැහැ, ගොවියාට කලට වේලාවට පොහොර ටික ලැබෙනවා.

අනෙක් අතට, රටේ මොන ප්‍රශ්න තිබුණත්, ඩොලර් නැති වුණත් එප්පාවල නිධිය තිබෙන කල් අපේ රටට පොහොර නැති වෙන්නේ නෑ. එයම ආශිර්වාදයක් නෙවෙයි ද.

අනුරාධපුරය, මඩකළපුව, ත්‍රිකුණාමලය සහ දකුණු පළාතේ තවත් නිෂ්පාදනාගාර කිහිපයක් විවෘත කිරීමයි මගේ සැලසුම. එවිට මට තවත් රැකියා අවස්ථා 500ක් පමණ සෑදිය හැකියි. නමුත් ඒවාට මුදල් අවශ්‍යයයි. මේ වෙලාවේ රජය මැදිහත් වී අප වැනි කර්මාන්ත කරුවන්ට සහන පොලී යටතේ බැංකු ණය ලබා ගැනීමේ පහසුකම් ලබා දෙන්නට ඕනේ. මොකද 30% ඉහළ පොලී අනුපාතවලට බැංකු ණය අරන් මේ කර්මාන්ත කරන්න බැහැ. අපේම ශක්තියෙන් මේ දේවල් රටට දායාද කරද්දී අවශ්‍ය සහයෝගය ලබා දෙන එක රජයේ වගකීම..."

අපගේ නව SSP පොහොර පිළිබඳ ඕනෑම තොරතුරක් 0718 623 232 සහ 0718 623 238 යන දුරකථන අංකවලින් විමසිය හැකියි.

wwsdගොවීන් ගේ පොස්පරස් අවශ්‍යතාවට SSP හොඳට ම ප්‍රමාණවත්

මෙරට භාවිත වන සෑම පොහොරක් පිළිබඳව ම වගකිව යුතු රාජ්‍ය ආයතනය වන පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චන්දන ලොකු හේවගේ මහත්මා මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

"දැනට අපේ රටේ කෘෂිකර්මාන්තය සඳහා නිර්දේශ කර තිබෙන්නේ, 30%ක් කාබනික සහ 70%ක් රසායනික යන ක්‍රමවේදය. ඒ අනුව 70%ක් රසායනික යටතේ යූරියා, Muriate of potash හෙවත් MOP, Triple Super Phosphate හෙවත් TSP අවශ්‍ය වනවා. හැබැයි මේ වර්ග තුනම ගේන්නේ පිටරටින්. එසේ ගෙන්වන Triple Super Phosphate මඟින් පොස්පරස් අවශ්‍යතාව සපුරා ගත්තත්, එප්පාවල පිහිටි පොස්පේට් (ERP) නිධියෙනුත් ඉතා සුළු ප්‍රමාණයක් පොස්පරස් අවශ්‍යතාව සඳහා යොදා ගන්නවා.

සාමාන්‍යයෙන් වාර්ෂිකව අපේ රටේ භාවිත වන TSP ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000ක්.

පිටරටින් ගෙන්වන මෙම TSP, දීර්ඝ කාලයක් පසට යෙදීම නිසා මේවායේ ඇති බැරලෝහ පසට එකතු වනවා. අනික TSP පිටරටින් ගෙන්වනවා කියන්නේ වසරකට ඇ. ඩො. මි. 30ක් පිටරටට ඇදී යනවා කියන එකයි. අවුරුදු 500කට සෑහෙන පොස්පේට් නිධියක් රටේ තියාගෙන, මේ සා විශාල මුදල් කන්දරාවක් පිටරටට ඇදී යන එක මොන තරම් අපරාධයක් ද.

දේශීය සමාගමක් වන AMANO Fertilizer, මෙම පොස්පේට් නිධිය භාවිත කර රටට අවශ්‍ය පොස්පරස්, රට තුළම නිෂ්පාදනය කරන්නට පටන්ගෙන තිබෙනවා. එය ඉතාමත් අගය කළ යුතු කාර්යයක්.

ලංකාවේ තිබෙනවා, පොහොර උපදේශන කමිටුවක්. එය, අදාළ විෂය නියෝජනය කරන මහාචාර්යවරු ඇතුළු ප්‍රාමාණිකයන් ගෙන් සැදුම්ලත් විද්වත් කමිටුවක්. ඔවුන් ප්‍රකාශ කළා, ලංකාවේ තිබෙන මේ එප්පාවල පොස්පේට් නිධිය ලෝකේ තිබෙන හොඳම පොස්පේට් නිධිවලින් එකක් බව. ඒත් ඒ නිධියෙන් ලබා ගන්නා පොස්පේට් දැනට අපි භාවිත කරන්නේ, මූලික අවස්ථාවෙන් කුඩු ලෙස පමණයි. ලංකාවේ දැවැන්ත රසායනික පොහොර සමාගම් ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස මෙම මූලික අවස්ථාවේ කුඩු ලබා ගන්නවා. ඊට අමතරව, කාබනික පොහොර නිෂ්පාදකයින් සුළු වශයෙන් මෙම පොස්පේට් කුඩු මිල දී ගන්නවා.

නමුත් අපේ රටේ මේ ERP නිධිය භාවිත කර Single Super Phosphate හෙවත් SSP නිෂ්පාදනය කරන පළමු සමාගම ලෙස AMANO Fertilizer සමාගම සුවිශේෂී වනවා.

අපේ මහපොළොව තවමත් සාරවත්. ඒ නිසා Triple Super Phosphate යෙදීමේ අවශ්‍යතාවක් නැති බවත්, ලංකාව සතු පොස්පේට් නිධිය භාවිත කර හදන SSP පොහොර හොඳට ම ප්‍රමාණවත් බවත්, එම කමිටුවේ මහාචාර්යවරු පවා පවසනවා. කිසිවකුත් මෙතෙක් අත නොගැසූ එම භාරදූර කාර්යයට යි, AMANO Fertilizer සමාගම මේ අතගසා තිබෙන්නේ.

TSP වලට යන්නේ නැතුව අපේ රටේ පොස්පේට්වලින් SSP හැදුවොත්, ගොවීන් ගේ පොස්පරස් අවශ්‍යතාවට හොඳට ම ප්‍රමාණවත්.

SSP හදනවා කියන්නේ, සල්ෆියුරික් අම්ලය භාවිතයෙන් කෙරෙන සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ අනුව, AMANO Fertilizer සමාගමේ සභාපති සරත් ඩි. කොස්තා මහත්මයා, අවුරුදු ගණනාවක් තිස්සේ මේ උත්සාහය සාර්ථක කරගැනීම සඳහා විවිධ රාජ්‍ය ආයතන වෙත ගොස් තිබුණා. පොහොර ලේකම් කාර්යාලයට ආ වෙලාවේ මම මේ ගැන සොයා බැලුවා. සාම්පල් අරන් පරීක්ෂණ වෙත යොමු කළා. එය අපේ රටේ පිළිගත් ප්‍රමිතියට අනුකූලව හැදූ පොහොරක්.

පොහොර ලේකම් කාර්යාලයේ ප්‍රමිතීන්ට අනුකූල නම් එම පොහොර නිෂ්පාදනය සඳහා අදාළ ලයිසන් එක දිය හැකියි. ඒ අනුව පොහොර උපදේශන කමිටුව තීරණයකට ආවා, අපේ රටේ SSP නිෂ්පාදනය කරන්නට මෙම සමාගමට අවශ්‍ය බලපත්‍රය ලබා දෙන්න.

ඔවුන් හඳුන්වා දී තිබෙන්නේ Value Added නිෂ්පාදනයක්. දැනට පවුඩර් ලෙස පමණක් විකිණෙන පොස්පේට් කුඩුවලට වටිනාකමක් එක් වී, පොහොරක් ලෙස ගොවීන් අතට පත් වනවා. ඒ වගේම, NPK වැනි වෙනත් පොහොර මිශ්‍රණ සෑදීම සඳහාත් එය අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නට පුළුවන්.

කොහොමටත් කාබනික පොහොර නිෂ්පාදනයේ දී එම නිෂ්පාදකයින් පොස්පරස් අවශ්‍යතාව සම්පූර්ණ කර ගන්නට ටොන් එකකට කිලෝ 50ක් පොස්පේට් කුඩු යොදනවා. SSP කරනවා කියන්නේ, පොස්පේට් සල්ෆියුරික් අම්ලය සමඟ එක් කොට, Water Solubility හෙවත් ජලයේ දිය වීමේ ප්‍රවණතාව වැඩි කිරීම. එවිට දිරාපත් වීමේ වේගය වැඩි වනවා. ජලයේ දියවීමේ ප්‍රවණතාව සාමාන්‍යයෙන් තිබිය යුත්තේ 80% ක් වුවත්, මෙම AMANO SSP පොහොරවල 81% ක ඉහළ ප්‍රතිශතයක් තිබෙනවා. ඒ වගේම තිබිය යුතු පොස්පරස් ප්‍රතිශතය 17% ද නියමාකාරයෙන් ම අන්තර්ගතයි.

සල්ෆියුරික් අම්ලය යොදා ගෙන සිදු කෙරෙන ක්‍රියාවලියක් නිසා රසායනික පොහොර ඝනයට වැටුණත්, මහපොළොවට වුවමනා කරන පොස්පරස් අවශ්‍යතාව සපුරන ගුණාත්මක පොහොරක් ලෙසයි, SSP හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා ලංකාවේ පොහොර කර්මාන්තයට අවසර දීමෙහි ලා ක්‍රියාත්මක ඉහළම බලධාරියා විදියට, දේශීයව SSP නිෂ්පාදනය කරන මෙම කාර්යයට අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා..."

wweevb

 

ඉනෝකා පෙරේරා බණ්ඩාර

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website