ඉරිදා, 03 සැප්තැම්බර් 2023 12:46

රටේ වතුර මුහුදට යද්දී නිකං වේළෙන අපේ වාරිමාර්ග ව්‍යාපෘති Featured

ජල සම්පත නිවැරදි අයුරින් කළමනාකරණය කරගැනීමට බැරිවෙලා.
මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති 09ක් සඳහා ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 203,159ක වියදමක් දරා තිබුණත් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ මන්දගාමීව.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වසර 07 කුත් මාස 06ක් ප්‍රමාද වීම නිසා සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන 150,562ක්.
දිවයිනට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක 19ක ජනතාව ගැටලු රැසකට ලක්ව සිටිති. වී, තේ, කෙසෙල් හා ධාන්‍ය වර්ග වගාකළ ගොවීන්ගේ වගාබිම් නියං රකුසාට බිලිවෙමින් ඇත්තේය. මහපොළව සමග ඔට්ටුවෙමින් පවුලේ බඩ වියත සරිකරගැනීම සඳහා දැඩි අරගලයක නිරතව සිටින ගොවීන් තම වගාවන් නියං රකුසාට බිලිවීම නිසා දැඩි විස්සෝපයට පත්ව සිටිති. ඔවුන්ට වැස්ස වලාවක දෙවියන්ගේ පිහිට හැර අන් සරණක් නැත. වැව් තාවුල්ලට වී වැස්සවලාහක දෙවියන්ට යදීම හැර ඔවුන්ට කාගෙවත් පිහිටක් නැත. කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාද පවසා තිබුණේ මෙවර වැඩිම වගාහානි වන්දි මුදල ලබාදීමට රජයට සිදුවන බවය. ගොවීන්ගේ වී වගාබිම් සඳහා නිසි කලට වෙලාවට ජලය නොලැබුණි. ඇතැම් නිලධාරීන්ගේ මරිමෝඩ තකතීරු තීන්දු නිසා මෙම තත්ත්වය ඇතිවූ බවට ගොවීන් චෝදනා කරති.

දේශගුණික හා කාලගුණික විපර්යාසයන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව රටක් ලෙස කිසිදු පියවරක් ගෙන නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ද මාධ්‍ය සාකච්ඡාවකදි අනාවරණය කොට තිබුණි. මෙරට ජල සම්පත නිවැරදි අයුරින් කළමනාකරණය කරගැනීමට මෙරට බලධාරීන්ට නොහැකි ඇත. “අහසින් වැටෙන එක දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලා යෑමට ඉඩ නොදිය යුතුයි. යන්න පරාක්‍රමබාහු රජතුමා විසින් කළ ශ්‍රේෂ්ඨ කියමනකි. එහෙත් පරාක්‍රමබාහු රජතුමා විසින් කොතනක හෝ සිට මෙම පුංචි දිවයින දෙස බලාසිටීනම් ඔහු කළ මෙම ශ්‍රේෂ්ඨ ප්‍රකාශය ගැන කම්පාවනු ඇත. දින දෙක තුනක් වර්ෂාව පතිත වුවහොත් ගංවතුරය. සති දෙක තුනක් වර්ෂාව නොමැති වුවහොත් නියං රකුසාට මුහුණ දීමට රට්ටුන්නට සිදුවනු ඇත. මේරට වැව් ඇළ මාර්ග විශාල සංඛ්‍යාවක් රොන්මඩ වලින් පිරීගොස් ඇත්තේය. මේ සඳහා වාරිමාර්ග අමාත්‍යාංශ විසින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළද එකි ව්‍යාපෘති වලින් නිසි ප්‍රතිඵල අත්කරගැනීමට නොහැකි වී ඇත.

වාරිමාර්ග අමාත්‍යාංශයේ දැක්ම වන්නේ, තිරසාර ජලසම්පත් සංවර්ධනය හා කළමනාකරණය තුළින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමයි. එහෙත් මෙකී දැක්මට අනුව වාරිමාර්ග අමාත්‍යාංශය කටයුතු කරනවාද යන්න දෙවරක් සිතා බැලිය යුතු කාරණයකි. කොටින්ම කිවහොත් ලාංකීය වාරි නිර්මාණ ලොව අන් කිසිදු රටක දක්නට නොවන ආකාරයෙන් සුවිසල් හා විශ්මිත වූ නිර්මාණයන්ය. විශේෂයෙන්ම තාක්ෂණයෙන් උසස් යැයි කියා ගන්නා වත්මන් ඉංජිනේරු තාක්ෂණයන්ට පවා හසු නොවන්නා වූ ක්‍රමවේදයක් අපගේ අතීත වාරි නිර්මාණ ශිල්පීන් සතු වූ පැවතුණි. මෙරට අතීත වාරි නිර්මාණයන්හි වූ විශිෂ්ටත්වය පිටරැටියන් පවා මහ ඉහළින් අගය කළහ. පොළව යටින් ඇළ මාර්ග ඉදිකිරීමට අමතරව ජලය ගබඩා කිරීම සඳහා සම්පූර්ණයෙන්ම කෘත්‍රිම ජලාශ පළමුව ඉදිකළේ සිංහලයන්ය. වර්ෂය පුරාවට ලැබුණු අතිරික්ත ජලය සුරක්ෂිතව තබාගැනීමේ මූලික පරමාර්ථයෙන් වාරි කර්මාන්ත කෙරෙහි පැරැන්නන්ගේ අවධානය යොමුවී තිබුණි.

nfjnccncnn

වර්තමානයේ අහසින් වැටෙන දිය බිඳ පවා නිවැරදි අයුරින් කළමනාකරණය කරගැනීමට මෙරට බලධාරීන්ට නොහැකි වී ඇත. කුඹුරු වගාබිම්වලට ජලය ලබාදීම, විදුලි උත්පාදනය, පානීය ජල පහසුකම් ඇති කිරීම මෙකී නොකී බහුකාර්ය අරමුණු සහිතව මහාපරිමාන වාරිමාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී. එහෙත් ඉන් ඇතැම් ව්‍යාපෘතිවල මෙරට ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නැත. ඒ විතරක් නොව මෙකී ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ ඉඹිගමනේය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්ම කිරීම සඳහා විශාල වියදමක් දරා ව්‍යාපෘති කාර්යාල ආරම්භකොට පඩි නඩි සඳහා විශාල වියදමක්ද දරා තිබේ. එහෙත් එකී ව්‍යාපෘතිවල භෞතික ප්‍රගතිය සියයට බිංදුවකි. ඇතැම් වාරිමාර්ග ව්‍යාපෘති වංචා හා දූෂණ වලින් පිරී ඇත්තේය. වසර හතර පහකින් ව්‍යාපෘති අවසන් කළයුතු වුවත් ඇතැම් ව්‍යාපෘති වසර දහය, දොළහ දක්වා ක්‍රියාත්මක වෙමින් තිබේ. ඇතැම් ව්‍යාපෘති විශාල වියදමක් දරා සම්පූර්ණයෙන් වැඩ නිම කිරීමෙන් තොරව අත්හැර දමා තිබුණි.

වාරිමාර්ග අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවට අනුව මහා සහ මධ්‍ය පරිමාන දස අවුරුදු සැලැස්මට අනුව සංවර්ධන ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබුණි. දස අවුරුදු සංවර්ධන සැලැස්මට අනුව මහගල්ගමුව වැව ප්‍රතිසංස්කරණය කිරීම, පහළ මල්වතුඔය ජලාශය ඉදිකිරීම, රිදීමාලියද්ද ඒකාබද්ධ සංවර්ධනය, කිවුල් ඔය ජලාශය, සහ කවුඩුල්ල වම් ඉවුර ප්‍රධාන ඇළ දම්සොර ඇළ දක්වා දීර්ඝ කිරීම, රඹකැන් ඔය එකාබද්ධ සංවර්ධනය, මහවැලි බී කලාපයේ මාදුරු ඔය දකුණ ඉවුර සංවර්ධනය යන ව්‍යාපෘති සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තා පවා සකස්කොට අවසන් කොට තිබුණි. මෙකී ව්‍යාපෘති 2012-2017 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට 2011 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය මගින් අනුමැතිය ලැබී තිබුණි.

මෙකී ව්‍යාපෘති හත සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 76,043කි. ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනය මෙකී ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 6528ක මුදලක් වැයකොට තිබුණි. එහෙත් එකී ව්‍යාපෘති අතුරින් එක් ව්‍යාපෘතියක්වත් මේ දක්වා සම්පූර්ණයෙන් නිමකර නොතිබුණි. ව්‍යාපෘති තුනකට අදාළව නිම කිරීමේ ප්‍රතිශතය 1ත් 5ත් අතර විය. එකී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් අලුතෙන් කුඹුරු හෙක්ටයාර් 68000කට පමණ වාරිජලය සැපයීමට හැකිවන අතර එමෙන්ම දැනට වගාකරනු ලබන ඉඩම් හෙක්ටයාර් 203,000ක් සඳහා යල මහ දෙකන්නයට ජලය සැපයීමට හැකිවනු ඇත. මෙගාවොට් 200ක විදුලිබල උත්පාදනය මෙකී ව්‍යාපෘතිවල තවත් අරමුණකි. එහෙත් විගණනය මගින් අනාවරණය කොට තිබුණේ මින් කිසිදු ප්‍රතිඵලයක් ජාතික ආර්ථිකයට එක්වී නොතිබූ බවය.

එමෙන්ම වාරිමාර්ග අමාත්‍යාංශයේ දස අවුරුදු සංවර්ධන සැලැස්මට ඇතුළත් නොවූ කුඩාවිලච්චිය ජලාශය ප්‍රතිසංස්කරණය කිරීම, පලදායිතා ප්‍රවර්ධන හා වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීම, තල්පිටිගල ජලාශය, ගිං නිල්වලා හැරවුම, දෙමගල්ල වැව ප්‍රතිසංස්කරණය, හිඹිලියාකඩ වත්තේ ගෙදර වාරිමාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති 06 සඳහා රුපියල් මිලියන 74,423.4ක ඇස්තමේන්තුවක් සකස්කොට තිබුණි. මෙකී ව්‍යාපෘති 2014 වර්ෂයේදී ආරම්භ කළ අතර 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට මෙකී ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 6902.44ක මුදලක් වැයකොට තිබුණි. එහෙත් මෙකී ව්‍යාපෘති ඇතුරින් කිසිදු ව්‍යාපෘතියක් මේ දක්වා සම්පූර්ණයෙන් නිමකර නොතිබුණි. ව්‍යාපෘති 05කට අදාළව නිම කිරීමේ ප්‍රතිශතය 0.06ත් 13.16ත් අතර විය.

ඒ විතරක් නොව වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ මහාපරිමාන සංවර්ධන ව්‍යාපෘති 09ක් සඳහා ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 203,159ක වියදමක් දරා තිබුණි. මෙකී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පැවති දුර්වල කළමනාකරණය හේතුවෙන් සැලසුම් කළ පරිදි නිමකිරීමට නොහැකිවි තිබුණි. මෙකී ව්‍යාපෘති අතුරින් ව්‍යාපෘති 07ක ප්‍රගතිය සියයට 0 සිට සියයට 13.16ක අවම මට්ටමක පැවතුනි. මෙකී ව්‍යාපෘති 09 සඳහා ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 333,569ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 690ක් විය. මහාපරිමාන සංවර්ධන ව්‍යාපෘතින් නැවත ක්‍රමෝපායකරණය හා කඩිනම් කිරීමේ නිර්දේශ ප්‍රකාරව අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් 2023 ජනවාරි මස 13 දින වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත්කොට තිබූ ලිපියට අනුව 2023 වර්ෂයේ සිට මෙකී ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීමට තිරණය කොට තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙකී ව්‍යාපෘති අතුරින් තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය, දෙමටගල්ල හා කුඩාවිලච්චිය, වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය, කුඹුක්කන් ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති යන ව්‍යාපෘති සඳහා මෙතෙක් දරා ඇති පිරිවැයෙන් මේ දක්වා ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නොතිබුණි. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රමාද කාලය වසර 07කුත් මාස හයක් වී තිබුණි. මෙකී ව්‍යාපෘතිය ප්‍රමාදවීම නිසා සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන 150,562ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය පමණක් නොව වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ ඉබිගමනේය. මේ නිසා මෙකී ව්‍යාපෘති සඳහා ලබාගත් ණය මුදල් සඳහා විශාල පොලී මුදලක් හා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවී තිබුණි.

kgtryry

ඒ විතරක් නොව උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගෙහි ඇතිවූ ජලකාන්දුව සඳහා වන්දි වශයෙන් කොන්ත්‍රාත්කරු විසින් අදාල රක්ෂණ සමාගමෙන් ඇමරිකානු ඩොලර් 8,155,981 වන්දියක් ලබාගෙන තිබුණි. කෙසේවුවද කොන්ත්‍රාත්කරු විසින් වින්දිත පාර්ශ්ව වෙත ගෙවිය යුතු වන්දි මුදල් වශයෙන් 2021 වර්ෂයේ අගෝස්තු මස 31 දින වනවිට රජයේ මුදලින් රුපියල් මිලියන 1931.34ක මුදලක් ගෙවා තිබූ අතර රජය මගින් ගෙවනු ලැබූ වන්දි මුදල කොන්ත්‍රාත්කරුගෙන් අයකළ යුතු බවට රජයේ ගිණුම් කාරක සභාව මගින්ද නියෝගකොට තිබුණි. එහෙත් මෙම වර්ෂයේ අප්‍රේල් මස 30 වන දින වනවිට කොන්ත්‍රාත්කරුගෙන් රුපියල් මිලියන 1124.62ක මුදලක් අයකරගෙන නොතිබුණි.

මෙකී ව්‍යාපෘති අතුරින් උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇතිවූ ජනතා විරෝධය හේතුවෙන් තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නොහැකි වී තිබුණි. කෙසේවුවද මෙකී ව්‍යාපෘතිය සඳහා චීනයේ ැංසප බැංකුව සමග ණය ගිවිසුමක් අත්සන් කොට ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භකොට තිබුණි. එහෙත් ණය ගිවිසුම ක්‍රියාත්මක නොවීම තුළ 2019 වර්ෂයේදී අදාළ කොන්ත්‍රාත් සමග ව්‍යාපෘතිය අතරමග නවතා දමා ඉන් ඉවත් වී ගොස් තිබුණි. කෙසේවුවද 2020 වර්ෂයේ රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නැවත ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබීය. මෙකී ව්‍යාපෘතිය සඳහා මේ දක්වා රුපියල් මිලියන 610ක් වැයකොට තිබූ අතර ව්‍යාපෘතිය නවතා දැමීමට තීරණය කොට තිබුණි. මේ නිසා මෙකී ව්‍යාපෘතිය සඳහා දරා ඇති වියදමින් ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබි නොතිබුණි.

කුඩාවිලච්චිය ජලාශය ප්‍රතිංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුවය. ගොවිජනතාවට ප්‍රතිලාභ රැසක් ලබාදීමේ අරමුණින් මෙකී ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය. මෙකී ව්‍යාපෘතිය සඳහා වසරක් තුළදී වැයකරනු ලැබූ මුදල රුපියල් මිලියන 120.55කි. එහෙත් ව්‍යාපෘතිය නවතා දැමීමට තීරණය කොට තිබුණි. මේ හේතුවෙන් මූලික අරමුණ යටතේ හඳුනාගෙන තිබූ ආර්ථික, සමාජිය, හා පාරිසරික වශයෙන් වූ වාසි සැලසුම්සහගත ලෙස ලබාගැනීමට නොහැකි වී තිබුණි.

ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතියද පසුගිය කාලයේ දැඩිලෙස කථාබහට ලක්වූ ව්‍යාපෘතියකි. මෙකී ව්‍යාපෘතියේ පළමු අදියරේ සැලසුම් සකස් කිරීම සඳහා පමණක් අවුරුදු 05කුත් මාස 04ක් ගතවී තිබූ අතර ව්‍යාපෘතියේ සැලසුම් සකස් කිරීමේ කටයුතු වලින් සියයට 7.5ක ප්‍රමාණයක් තවදුරටත් නිමකළ යුතුව තිබුණි. ගිං නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2014 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනි දින වාරිමාර්ග අමාත්‍යාංශය විසින් චීනයේ ක්‍්ඵෑක්‍ සමාගම සමග ඇමරිකානු ඩොලර් 690,000,000ක කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹ තිබුණි. ඒ සඳහා පූර්ව අත්තිකාරම් ලෙස කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 4.35ක් වූ ඇමරිකානු ඩොලර් 29,989,000ක මුදලක් (රුපියල් 4,011,054,982) අදාළ කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට කටයුතු කරනු ලැබීය. කෙසේවුවද යහපාලන රජය බලයට පත්වීමත් සමග මෙකී ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට කටයුතු කරනු ලැබීය. මෙකී ව්‍යාපෘතිය නිල්වලා ගංගාව ආශ්‍රිතව පමණක් සිදුකරන ලෙස ආර්ථික කළමනාකරණ කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත්කොට තිබුණි. එහෙත් අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමකින් තොරව ගිංගග හා නිල්වලා යන කොටස් දෙකම පිළිබඳ අධයනය කිරීමට කොන්ත්‍රාත්කරුවකු සමග ගිවිසුමකට එළඹ තිබුණි. මෙකී ව්‍යාපෘතිය ආරම්භකොට දැනට වසර 09ක් ගතවී තිබේ. ඒ සඳහා දරා ඇති වියදම රුපියල් මිලියන 4,090කි. ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය සියයට 4.5කි. ඒ විතරක් නොව වසර 05 කාලයක් තුළ ව්‍යාපෘති කාර්යාලයේ කාර්යමණ්ඩල සඳහා වැටුප් දීමනා හා අනිකුත් කටයුතු සඳහා රුපියල් මිලයන 27ක මුදලක් වැයකොට තිබුණි. මෙකී ව්‍යාපෘතිය සඳහා මේ වනවිට රුපියල් මිලියන 4,090ක මුදලක් වැයකරනු ලැබුවද ජනතාවට කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් ලැබී නොතිබුණි.

වයඹ මහ ඇළ ව්‍යාපෘතියද වාරිමාර්ග අමාත්‍යංශය මගින් කරණු ලබන මහාපරිමාන සංවර්ධන ව්‍යාපෘතියකි. මෙකී ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 9978.48කි. මෙහි ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව විදේශිය සමාගමකට භාර දි තිබූ අතර 2020 2024 යන කාලය තුළ ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම්කොට තිබුණි. කොන්ත්‍රාත් සමාගමේ කාර්යමණ්ඩල හිඟය, ඉදිකිරීම් උපකරණ නොමැතිවීම, දුර්වල වැඩබිම් කළමනාකරණය හේතුවෙන් වසර දෙකක කාලයක් තුළ ව්‍යාපෘතියේ ඉදිකිරීමේ ප්‍රගතිය සියයට 2.97ක් තරම් පහළ මට්ටමක පැවතුණි. කොන්ත්‍රාත් සමාගම වෙත පූර්ව අත්තිකාරම් ලෙස ලබා දී ඇති මුදල රුපියල් මිලියන 1,197.32කි. නිමකළ වැඩ වෙනුවෙන් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 355.24කි. මෙකී ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක වන්නේ ඉබි ගමනින්ය.

නියඟය හා ගංවතුර වැනි දේශගුණික හා කාලගුණික වෙනස්කම්වලට මුහුණදීම සඳහා රටක් වශයෙන් අප සූදානම් විය යුතුය. දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 430ක් වැයකොට ශක්‍යතා අධ්‍යයනයන් 06ක් සිදුකොට තිබූ අතර ඉදිරිපත්කොට තිබූ වාර්තා අනුව ව්‍යාපෘති සැලසුම්කොට ඉදිරිපත් කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශයට නොහැකි වී තිබුණි. වාරිමර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ ඇතැම් ව්‍යාපෘති සඳහා විදේශ ණය ලැබී නොතිබුණි. ගිං නිල්වලා ව්‍යාපෘතිය, උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය, භූගත ජලවිමංසන තොරතුරු ජාලය ස්ථාපිත කිරීම යන ව්‍යාපෘති සඳහා විවිධ හේතුන් මත අපේක්ෂිත පරිදි විදේශ අරමුදල් ලැබී නොතිබුණි. මේ නිසා අදාළ කොන්ත්‍රාත්කාර සමාගම් වෙත ඇමරිකානු ඩොලර් මගින් ගෙවීම් කිරීම සිදුවී තිබූ අතර මින් රටේ විදේශ සංචිතවලට වන බලපෑම් පිළිබඳ ප්‍රමාණවත් තක්සේරුවක් සිදුකොට නොතිබුණි.

අතිරික්ත වර්ෂා ජලය ආරක්ෂා කරගැනීම හා ග්‍රාමීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙරට ග්‍රාමීය වැව් අමුණු, ඇළ මාර්ග 5000ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වාරි සෞභාග්‍යා නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය. 2021, 2022 යන වර්ෂ දෙක සඳහා මෙකී ව්‍යාපෘතිය සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 6703.29කි. 2022 වර්ෂය වනවිට මින් ප්‍රතිංස්කරණය කිරීමට හැකිවූයේ වැව් අමුණු 1167කි. එමෙන්ම වාරිමාර්ග අමාත්‍යංශය මගින් පලදායිතා ප්‍රවර්ධන හා වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භකොට තිබුණි. මෙකී ව්‍යාපෘතිය සඳහා ඉකුත් වර්ෂ 06 කාලය තුළදී වැයකළ මුදල රුපියල් මිලියන 1,730.99කි. එහෙත් මෙකී ව්‍යාපෘතියේ භෞතික කාර්යසාධනය සියයට 10කි. 2023 වර්ෂයේ සිට ඉදිරියටත් මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබූ අතර මෙකී ව්‍යාපෘතිය සඳහා දරනු ලැබූ වියදමින් වැඩි මුදලක් වියදම් වී ඇත්තේ ව්‍යාපෘතිය සඳහා බඳවාගත් නිලධාරීන්ගේ වැටුප් දීමනා සහ ව්‍යාපෘති කාර්යාලය පවත්වාගෙන යෑම සඳහාය. මින් ගොවිජනතාවට අත්වූ සෙතක් නොමැති තරම්ය.

කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතියද සුදු අලියෙකු බවට පත්ව ඇති ව්‍යාපෘතියකි. මෙකී ව්‍යාපෘතිය යටතේ ජලාශයක් ඉදිකිරීමට සැලසුම් කරනු ලැබීය. එමගින් වැලිඔය ප්‍රදේශයේ පවතින හෙක්ටයාර් 700ක් සඳහා මා ඔය සහ වැලිඔය අතර ඉඩම් හෙක්ටයාර් 1700කට වාරි ජල පහසුකම් සැපයීම හා පානීය ජලය ලබාදීමට සැලසුම්කොට තිබුණි. මෙකී ව්‍යාපෘතිය 2012 වර්ෂයේ සිට වර්ෂ 04කින් නිමකිරීමට සැලසුම්කොට තිබුණි. එහෙත් මෙම වර්ෂයේ අප්‍රේල් මස 30 වැනිදින වනවිටත් ප්‍රධාන ජලාශයේ හෝ ඇළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කිසිවක් ආරම්භකොට නොතිබුණි. ව්‍යාපෘතියට අදාළව කිසිදු ශක්‍යතා අධ්‍යන වාර්තාවක් විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබුණි. මෙකී ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 364.64ක වියදමක් දරා තිබුණි. මින් වැඩි මුදලක් වියදම් කොට ඇත්තේ කාර්යමණ්ඩල වැටුප් හා දීමනා සහ ව්‍යාපෘති කාර්යාලය පවත්වාගෙන යෑම, ඉන්ධන හා ගමන් වියදම් සඳහා දරා තිබුණි.

මෙරට ගොවි ජනතාව තම වගාබිම්වලට ජලය නොමැතිව හූල්ලමින් සිටිති. එහෙත් අපේ රටේ වාරිමාර්ග බලධාරීන්ට ඒ ගැන වගේ වගක් නැත. වාරිමාර්ග ව්‍යාපෘතිද ක්‍රියාත්මක වන්නේ මන්දගාමී අයුරිනි.

ලලිත් චාමින්ද

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website