ණයහිමියන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට නො හැකි වුවහොත් රට දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට සිදු වන බවත්, එසේ එකඟතාවක් ඇති කර ගත හැකි වුවහොත් ණය ගෙවිය යුතු වන බවත් හෙතෙම පෙන්වා දෙයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ විරු පවුර සංවිධානයේ නියෝජිතයන් පිරිසක් සමග පැවති හමුවක දී අදහස් දක්වමිනි.
ආර්ථික දුෂ්කරතා හමුවේ රණවිරු සුබසාධනය සහ රටේ පොදු ආර්ථික දේශපාලන කාරණා ගැන මෙන් ම ඉදිරි දේශපාලන කටයුතු සඳහා මැදිහත් වීම පිළිබඳ එම සාකච්ඡාව තුල අදහස් හුවමාරු විණ. මේ සඳහා විරු පවුර සංවිධානයේ විශ්‍රාමික මෙන් ම ආබාධිත හමුදා නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
විරු පවුර සංවිධානයේ සභාපති කපිතාන් ගයාන් විතානගේ සහ පක්ෂ උප සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහත්වරුන් විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;
“රටේ තත්ත්වය ගත්තොත් මේ මාසේ හරි තීරණාත්මකයි. මේ මාසෙ දි අපි අපේ විදේශ ණය හිමියන් සමග එකඟතාවකට එන්න ඕන. එහෙම එකඟතාවකට එන්න බැරි උනොත් මූල්‍ය අරමුදලේ අනුමැතිය අපට ලැබෙන්නේ නෑ. මූල්‍ය අරමුදල හය මාසයකට පස්සේ ඇවිල්ලා දැන් මේ දවස්වල අපේ කට්ටියව සම්මුඛ සාකච්ඡා කර ගෙන යනවා. මොකක්ද ප්‍රගතිය කියලා අහනවා.
මේ 27 වෙනිදා වෙන කොට ඒ එකඟතාව ඇති කර ගන්න ඕනේ. එකඟතාව ඇතිවුනේ නැත්නම් අපිට ඒක ලැබෙන්නේ නෑ ඊළඟ හය මාසේ. ඒ වගේම ලෝක බැංකුව දැන් ඔය අස්වැසුම් පොහොර ගේන්න, බෙහෙත් ගේන්න සල්ලි දෙනවා. ඒවත් ඔක්තෝබර් මාසෙන් පස්සේ නවතිනවා. ඒ අනුව මේ පිටින් පෙන්නන කාරණය නෙමෙයි ඉතාම වැදගත්. මේ මාසේ විසිහත් වෙනිදා වෙන කොට, මේ අපේ ණය හිමියෝත් එක්ක යම් එකඟතාවක් ඇති කර ගන්න. ඒක එකඟතාව ඇති කර ගන්න බැරි උනොත් අපි ලොකු අමාරුවක් ඉදිරි කාලයේ ඇතිවෙනවා. ඊළඟට එකඟතාව ඇති කර ගත්තොත් මොකද වෙන්නේ දැන් අපි ණය සතයක්වත් ගෙවන්නෙ නෑනේ. අපිට ණය ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඔය ඉතුරු වෙලා තියෙන ඩොලර් ටික ආපහු ණය ගෙවීම හරහා ලබන අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳන් එළියට යනවා. හැබැයි ඒකෙන් යම් ස්ථාවරත්වයක් රටට ලැබෙනවා. මේකෙන් එවැනි ස්ථාවරත්වයක් ලැබෙන්නේ නෑ. එකඟතාවකට එන්න බැරි වුනොත්.
ඉතින් ඒක තමයි අපි ඉදිරියේ තියෙන්නේ. හැබැයි අපේ රටේ ප්‍රශ්න විසඳෙනවා. රට යටින් නාය යනවා. රටේ දශක ගණනක් තිස්සේ ගොඩනගා ගත් මහා දැවැන්ත අත්දැකීම්, බුද්ධිය, දැනුම රටෙන් නාය ගිහිල්ලා එළියට යනවා. විශ්ව විද්‍යාල මහාචාර්ය ආචාර්යවරු යනවා. උසස් පෙළ පන්තියේ දරුවන්ට ගිය අවුරුද්දේ ප්‍රශ්නයක් තියෙනවා උසස් පෙළ ප්‍රශ්න පත්තර බලන්න මහාචාර්යවරු ආවේ නැහැ. තව අවුරුදු දෙකක් තුනක් යන කොට ප්‍රශ්න පත්‍රය හදන්න මහාචාර්යවරයෙක් නැති වෙනවා. ඒ වගේම සමහර ආයතන ගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙනවා.
රෝහල් සේවාව ගත්තොත් විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු විදේශගත වෙනවා. හෙද කාර්ය මණ්ඩල විදේශගත වෙනවා. මේ ආයතන පවත්වා ගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙනවා. ගුවන් සේවාව ගත්තොත් නියමුවන් හැටක් විතර රට ගිහිල්ලා. ගුවන් යානා කොහොමත් බංකොලොත් වෙලා බිමට වැටිල තිබුණ. දැන් නියමුවෝ නෑ. තියෙන ගුවන් යානයවත් උඩට ගන්න. බිමට වැටිලා තියෙනවා. ඊළඟට ලංකා විදුලි බල මණ්ඩලය. මේ ආයතනය ගැන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටීම නිසා. ආයතනය කෑලි කඩනවා කියපු නිසා බදු ගහපු නිසා, අර පුත්තලම බලාගාරය වගේ වැදගත් ස්ථානවල හිටපු ඉංජිනේරු මහත්තුරු, මේ ඉන්නවා, මේ දාලා ගිහින් තියෙනවා. ටෙලිකොම් ආයතනය, පුද්ගලික අංශය, බැංකුවල, මේ හැම තැනක ම, ඉස්පිරිතාලවල, ප්‍රශ්න විතරයි කතා කරන්නේ. මේ හැම තැනක ම මේක වෙනවා.
මතක තියා ගන්න තව අවුරුදු දෙකක්, තුනක් අපි පරක්කු වුනොත්, අපට හදන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද මේ වැදගත් මානව සම්පත අපෙන් ඉස්සරහට යනවා. අනිත් එක හිතන්න එපා ඔය යන අය ඔක්කොම ගිහිල්ලා මේ දොස්තර එහෙ දොස්තරකම් කරනවා. මෙහෙ ඉංජිනේරුවා, එහෙ ඉංජිනේරුකම් කරනවා කියලා. එහෙම හොඳ රස්සා එහෙම නෑ. එහෙ ගිහිල්ලා සමහරවිට අමාරුවෙන් රස්සා කරනවා ඇති. මොන මොනවා හරි අමාරුවෙන් ජීවත් වෙනවා ඇති. එක්සත් ජනපදය වගේ තැනක් ගත්තොත් හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. රස්සා දෙක තුනක් කරලා වත් එදිනෙදා ජීවිතයේ ගැට ගහ ගන්න බෑ. ඒ ඔක්කොම තියලා මේ යන්නේ ඇයි? ළමයින්ගේ අනාගතය ගැන තියෙන අවිනිශ්චිත භාවය නිසා. දැන් අද අරන් බලන්න. ඔය කොරියන් භාෂා පන්තියක් එහෙම දැම්මොත් තරුණ ළමයි කී දාහක් එනවද? ජපන් භාෂා පන්තියක් දැම්මොත් තරුණ ළමයි කී දාහක් එනවද? ඇයි? මේ රටේ ඉන්න කවුරුවත් තීරණය කරලා නෑ. රට ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා අපි පළමුවෙන්ම කරන්න ඕනේ මේ රට හදනවා නම්, රට ගැන බලාපොරොත්තුවක් ඇති කර ගන්න ඕනේ. මේ රට අපි හදනවා ය කියන එක අපි දෙන්න ඕන. ඒක තුළින් විතරයි අපිට ඉදිරියට යන්න පුළුවන්.”
CN