අඟහරුවාදා, 03 ඔක්තෝබර් 2023 10:22

කිරිඳිඔය ව්‍යාපාරයේ අක්කර 15000ක මුං වගාව මහ වැස්සෙන් විනාසයි Featured

යල් කන්නයෙන් පසු අතරමැදි කන්නයක් ලෙස කිරිඳිඔය ඒකාබද්ධ ව්‍යාපාරයේ අක්කර 15000 ක මුං වගාව සිදු කළ ද නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග දිගින් දිගටම ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් මුං වගාව සහමුලින්ම විනාශ වී ඇති බව ගොවි නායකයන් සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් දත්තයන්ට අනුව නියඟයට ඔරොත්තු දෙන නියඟයට ඔරොත්තු දෙන මුං වගාවකට යෑමට ගොවීන් තීරණය කළේ හම්බන්තොට දිසාපති තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමග ද සාකච්ඡා කිරීමෙන් පසුව බව කිරිඳි ඔය ඒකාබද්ධ ගොවි සංවිධාන සභාපති එස්. ජාලියගොඩ මහතා කීය. ඒ අනුව නීත්‍යනුකූල වගාවක් ලෙස ඉපනැල්ලේ මුං වගාවට ගොවීන් යොමු වූ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් මුං බීජ කිලෝවක් රුපියල් 1600 කට මිලදී ගෙන තිබේ.

ගොවියෙකුට අක්කරේකට මුං බීජ සඳහා රුපියල් 12,000 ක මුදලක් මෙන්ම අනෙකුත් වියදම් සමඟ අක්කරයකට රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් වැය වූ බව

ජාලියගොඩ මහතා සඳහන් කළේය. මුංඇට

වගාවෙන් සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බැවින් ගොවීන්ට ගොඩ ඒමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් වියදමින් 50% ක් වත් වන්දියක් ලබා දීමට බලධාරීන් මැදිහත් වී කටයුතු කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බව ජාලියගොඩ මහතා කීය.

මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් කළ විමසීමකදී සඳහන් කළේ මුං ඇට වගා කරන ලද ගොවීන්ට වර්ෂාවෙන් හානි සිදු වූ බව වාර්තා වුණා. ඒ පිළිබඳව මම සොයා බැලීමටත් කටයුතු කළා. ගොවීන්ට නියං ආධාර විදියට මිලියන පන්දාහක් ගෙවන්න මේ වන විට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒවගේම දැන් ගංවතුර ආධාර වලටත් විශාල මුදලක් රජයට ගෙවන්න සිදු වෙනවා. මුං ඇට වගාවේදී හානි වූ ගොවීන්ටත් නිලධාරීන් ලබා දෙන නිර්දේශ මත වන්දියක් ගෙවන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇල්ලගල ව්‍යාපාර කමිටුවේ සභාපති කේ. පී. ඥානදාස සඳහන් කළේ මුං බීජ වපුරන්න තෙල් ගහන්න ආදී කටයුතුවලට වෙනදාට මෙන් තුන් ගුණයකට වඩා පිරිවැයක් දැරීමට සිදු වූ බවත් රජයේ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් කන්න රැස්වීම් පවත්වා නිලධාරීන් ලබාදුන් නිර්දේශ මත කරපු වගාව දැන් විනාශ වෙලා. ඒ නිසා සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ

ගොවීන්ට සාධාරණයක් ඉටු කරලා දෙන ලෙස යනුවෙන් කීය.

දෙබරවැව වල දොර පුබුදු ගොවි සංවිධානයේ සභාපති ඒ. ටී. ආරියතිලක මහතා කවියකින් මෙලෙස කීය.

හත්දෙයියනේ මේ විදියට වහින කොට
ඔක්කොම විනාසයි ගොවි ජනතාව කට
මේ ටික කියන්නෙමි මාගම්පුරේ සිට
හෙනහුරු අපලෙ ලබලා මුං වගාවට
තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website