සදුදා, 23 ඔක්තෝබර් 2023 11:17

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමේ සැලසුමක් Featured

ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය සිදුවන්නේ මන්නාරම දිස්ත්‍රික්කය හරහා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (22) පෙරවරුවේ මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

අද අපි නබි නායකතුමාගේ උපන්දිනය සමරනවා. මම මන්නාරම දිස්ත්‍රික්කයට පැමිණ සහභාගිවන දෙවන ආගමික උත්සවය මෙයයි. මාස කිහිපයකට පෙර අපි මඩු පල්ලියේ පැවති උත්සවයට සහභාගී වුණා.

මෙම උත්සවය උත්කර්ෂවත්ව සංවිධානය කිරීම පිළිබඳ මම ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත ස්තූතිවන්ත වෙනවා.

මෙම උත්සවය වගේම නව පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීම, නිවාස ව්‍යාපෘති ආදි සංවර්ධන වැඩසටහන් මෙහි ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම සංවර්ධනය මන්නාරම දිස්ත්‍රික්කයට අවශ්‍යයි. මෙම ප්‍රදේශය යුද්ධයෙන් හානි වූ ප්‍රදේශයක්. ඒ නිසා මෙම ප්‍රදේශවල අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා.

විශේෂයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ මාර්ග ඉදිකිරීම පිළිබඳ අපි සාකච්ඡා කරගෙන යනවා. ඇමතිතුමා මට එය පාර්ලිමේන්තුවේදීත් මතක් කරනවා.

විශේෂයෙන් මේ ප්‍රදේශයේ නිවාස ඉදිකිරීම වගේම මෙහි අධ්‍යාපනය දියුණු කළයුතුව තිබෙනවා. මන්නාරම නගරයේ අධ්‍යාපනය යහපත් මට්ටමක තිබෙනවා. නමුත් දිස්ත්‍රික්කයේ අනෙක් ප්‍රදේශවල අධ්‍යාපනය පිළිබඳ සෑහීමකට පත් වෙන්න බැහැ.

ඒ වගේම මේ ප්‍රදේශයේ විශාල සංවර්ධන වැඩසටහනක් අප සැලසුම් කර තිබනවා. දැනටමත් ඉන්දියාව සහ මන්නාරම අතර මුහුදු මාර්ගයෙන් ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා. අපි කංකසන්තුරේ එය ආරම්භ කළා. ඊළඟට තලෙයිමන්නාරමේ එය ආරම්භ කරනවා. ඒ සමඟම ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. එය සිදුවන්නෙත් මෙම මන්නාරම හරහා බව මම කියන්න කැමතියි.

මෙය ආරම්භය පමණයි. මේ සමඟ ඉදිරියේ දී මන්නාරම දියුණු වෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශයේ හරිත ආර්ථිකය සහ හරිත බලශක්තිය සඳහා ඉහළ විභවයක් පවතිනවා. මෙහි තිබෙන සූර්ය බලයෙන් මෙම ප්‍රදේශය දියුණු කළ හැකියි. පුත්තලමේ සිට මන්නාරම යාපනය අර්ධද්වීපය හරහා මුලතිව් වන තෙක් එම හැකියාව තිබෙනවා. එසේම මෙහි කේන්ද්‍රස්ථානය බවට පුනරින් නගරය පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපි මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා. ඒ හා සමගාමීව ධීවර කර්මාන්තය දියුණු කළ විට මෙම මන්නාරමට අලුත් ආර්ථිකයක් ලැබෙනවා.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website