ඉරිදා, 22 ඔක්තෝබර් 2023 10:57

කරුංකා ප්‍රතිඅපනයනයෙන් අධික ලාභයක්.. මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 3000 ක වංචාවක්… Featured

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

එහිදී ආනයන තීරුබදු ප්‍රතිපත්තිය හා ශ්‍රී ලංකා රේගුවේ හිඟ බදු සම්බන්ධයෙන් හා ආපදා කළමනාකරණය යටතේ සමනල වැව වේල්ලේ පවතින ජල කාන්දුව සම්බන්ධයෙන් ගත යුතු පියවර සහ කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක රැසක පවතින ජලයෙන් යට වීමේ තත්ත්වය පිළිබඳ කාරක සභාව විසින් විමර්ශනය කරන ලදී.

අන්තර්ජාතික ආයතනයක් මගින් රජය වෙත ලබා දී තිබෙන වාර්තාවකට අනුව, දැනට ඩොලර් බිලියන දහයක පමණ සීමාවේ තිබෙන ශ්‍රී ලංකාවේ අපනයන ආදායම දෙගුණයක් එනම්; ඩොලර් බිලියන විස්ස දක්වා වැඩි කිරීමේ හා අපනයන ආදායමේ ශුද්ධ බලපෑම ( net effect) බිලියන 8.6 දක්වා වර්ධනය කර ගැනීමේ හැකියාවක් තිබෙන බවත්, මෙහිදී අනාවරණය විය. එම වාර්තාව මගින් විධිමත් තීරුබදු ප්‍රතිපත්තියක් පැවතීමේ අවශ්‍යතාව අවධාරණය කොට තිබේ.ආයෝජන භාණ්ඩ, අතරමැදි භාණ්ඩ හා පරිභෝජන භාණ්ඩ ලෙස භාණ්ඩ ආනයනය කරන බවත්, ඒ සඳහා විවිධ තීරුබදු අනුපාත අය කරන බවත් මෙහිදී අනාවරණය විය.

විශේෂයෙන්ම අභ්‍යන්තර බදු හා දේශසීමා බදු යන බදු දෙවර්ගය ගැන සළකා බලා, දැනට පවතින HS CODE (Harmonized Commodity Description and Coding System) 8200 ක පමණ ප්‍රමාණය ද සැළකිල්ලට ගෙන අපනයන ආදායම වැඩි කර ගැනීම සඳහා මෙම තීරුබදු ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව විධිමත් ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශය වෙත නිර්දේශ කළේය.

විශේෂයෙන්ම රත්තරන් හා දුරකථන වැනි භාණ්ඩ නීතිවිරෝධී අන්දමින් මෙරටට ගෙන්වීමේදී එම භාණ්ඩ රාජසන්තක කොට එහි වටිනාකම මෙන් තුන් ගුණයක බදු අය කර ගැනීම සඳහා රේගුවට නීතියෙන් ඉඩකඩ තිබුණත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇති අභිමතය භාවිතා කොට එම දඩ ප්‍රමාණය අය කර නොගන්නේ මන්දැයි කාරක සභාව විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසන ලදී.

 

ඒ අනුව දැනට 100% ක දඩ අයකර ගැනීම සඳහා නියෝගයක් ලබා දී තිබෙන බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය. එමගින් පුද්ගලයන් දස දෙනෙකුගෙන් රුපියල් මිලියන 292 ක දඩම මුදල් අය කර ගෙන ඇති බව ‍අනාවරණය විය. එම භාණ්ඩ සඳහා රේගුව මගින් තුන් ගුණයක දඩ මුදල් අය කර න නොගැනීම මගින් රජයට අහිමි වී ඇති ආදායම ගණනය කර කාරක සභාව වෙත වාර්තා කරන ලෙස කාරක සභාව ශ්‍රී ලංකා රේගුවට නිර්දේශ කළේය. එමෙන්ම, රේගු බදු ආදායම ලෙස ලැබිය යුතු රු. බිලියන 58 ක (රු. කෝටි 5800ක) මුදල අය කර ගැනීම සඳහා විශේෂයෙන් ම මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වහාම පියවර ගත යුතු බව අවධාරණය කළ සභාපතිවරයා, මේ අයවිය යුතු බදු ආදායම රේගුවට සහ ඒ හරහා භාණ්ඩාගාරයට නොලැබෙන්නේ මන්ද යන්න නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

නීති විරෝධීව කරුංකා ආනයනය කොට ප්‍රති අපනයනය කිරීම පිළිබඳ ගැටලුවේදී ශ්‍රී ලංකාවේ කරුංකා වලට (පුවක් වලට) පකිස්ථානය හා ඉන්දියාව වැනි රටවල විශේෂ ඉල්ලුමක් පවතින බවත්, ටොන් එකක් ඩොලර් 4000කට පමණ මුදලකට අලෙවි කළ හැකි නමුත් ඉන්දුනීසියාව, මැලේසියාව හා මියන්මාරයෙන් ඩොලර් 750-900කට කරුංකා ගෙන්වමින්, ඒවා ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කළ බව අඟවමින් අධික ලාභයකට ප්‍රතිඅපනයනය බවත්, කාරක සභාව හමුවේ අනාවරණය විය. මෙමගින් ශ්‍රී ලංකාවේ කරුංකා ව්‍යාපාරිකයන්ටත් ගැටළුවක් ඇති වෙනවාට අමතරව මෙසේ දැවැන්ත ලාභයක් උපයන බවත් වාර්තා විය. දැනට මෙවැනි කන්ටේනර් 190 කට ආසන්න ප්‍රමාණයක් (කරුන්කා ටොන් 1493ක්) රඳවාගෙන තිබෙන බවත්, වාර්තා විය. 35%ක වටිනාකම එකතු කිරීම මගින් කරුංකා ප්‍රතිඅපනයනය කිරීමට තීරණයක් ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට සහ ප්‍රතිඅපනයනයට මුවා වී ටොන් එකකින් ඩොලර් තුන්දාහක පමණ කරන මේ වංචාව වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා මෙහිදී ශ්‍රී ලංකා රේගුවට නි‍ර්දේශ කළේය.

රටට විදේශ විනිමය එවන අපේ විදේශගත ශ්‍රමිකයන් සඳහා විදුලි මෝටර් රථ ගෙන්වීමේ අවස්ථාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ලබා දුන් අතර, විදේශ ප්‍රේෂණ මෙරටට එවීම දිරිමත් කිරීමේ අරමුණින් රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිය අවභාවිතා කර බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් යුතු එවැනි විදුලි මෝටර් රථ 119 ක් ආනයනය කර ඇති බවත් ඉන් වාහන 75 ක්ම එක් ආයතනයක් මගින් ආනයනය කීරීම මගින් මෙම ක්‍රියාවලිය අවභාවිත වී ඇති බව කාරක සභාව විසින් අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම, මෙම වාහන ආනයනය කිරීමට ප්‍රථම එම බලපත්‍ර අලෙවි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරන බවත්, වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 250,000 ක් වන විට බලපත්‍රය අලෙවි කිරීම සඳහා රුපියල් මිලියන 5 ක තීරු බද්දක්ද අය කරනු ලබන බවත් කාරක සභාව හමුවේ අනාවරණය විය. මෙම ජාවාරම්කරුවන් මෙමගින් විශාල ආදායමක් උපයන අතර රජයට ලැබිය යුතු බදු ආදායමද අහිමි වීමක් සිදු වන බවද මෙහිදී අනාවරණය විය.

 

විදුලි මෝටර් රථ ගෙන්වීමට ලබා දී තිබෙන මෙම බලපත්‍රය භාවිතා කොට රටට හොර පාරෙන්, විදුලි මෝටර් රථ ගෙන්වා, ඒවා අලෙවි කිරීම පිළිබඳ වංචනික ක්‍රියාවලියක් සිදු වී ඇති බව අදාළ විමර්ශනයේ දී පැහැදිලි වූ බව කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. ඒ නිසා එය වහාම නතර කිරීමටත්, අදාළ විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබිය යුතු ප්‍රතිලාභය අයථා ආකාරයෙන් භාවිතා කළ අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද සභාපතිවරයා මෙහිදී නියෝග කළේය. මෙම වාහන සඳහා නිසි පරිදි තීරු ගාස්තු අය කළේ නම් රටට ලැබිය යුතු ආදායම ගණනය කරන ලෙස ශ්‍රී ලංකා ‍රේගුව වෙත නි‍ර්දේශ කළ අතර විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ලබා දී තිබෙන මේ බලපත්‍රය විධිමත්ව භාවිතා කිරීම පිළිබඳ කම්කරු හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍යාංශයත්, මුදල් අමාත්‍යාංශයත් එක්ව කටයුතු කළ යුතු බවට ද නිර්දේශ කළේය.
කාරක සභා රැස්වීමේ දෙවෙනි අදියරේදී සමනල වැවේ බැමිමේ වසර 30ක් තිස්සේ පවතින ජල කාන්දුව සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධ‍යෙන් සාකච්ඡා කෙරිණ. සමනල වැව ජල මට්ටම අඩුවීමත් සමග එහි තිබූ සිදුරු කිහිපයෙන් ප්‍රධාන සිදුරු හඳුනා ගැනීමට හැකියාව ලැබුණු නමුත් විදුලිබල මණ්ඩලය ඒ ස්වර්ණමය අවස්ථාව මගහැර ගිය බව කමිටුව හමුවේ අනාවරණය විය. මෙම කාරක සභාව වෙත ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල‍ය සහභාගී නොවීම පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු වූ අතර පාර්ලිමේන්තු කාරක සභාවකට කැඳවීම් කළ විට ඒ සඳහා සහභාගී වීම අනිවාර්ය බවත්, එසේ නොකිරීම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වෙත දන්වා යවන ලෙස කාරක සභාව කාරක සභාවේ ලේකම්වරියට උපදෙස් ලබා දුන්නේය.

 

සමනලවැව සිදුර එක දිගට වසර 30 ක පමණ කාලයක් මේ ආකාරයෙන් පවත්වා ගැනීමේ තිබෙන අනතුරුදායක බව පිළිබඳ ඒ භූ විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබෙන බැවින් ඒ අනුව ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශව කැඳවා ඒ පිළිබඳ ක්‍රියා කිරීමට කාරක සභාව හමුවේ සියළු පාර්ශවය එකඟතාවය ඇති කර ගන්නා ලදී. එමෙන්ම කැළණි ගංගාව සහ කළු ගංගාව දෙපස බ්‍රිතාන්‍ය කාලයේ පටන් තිබෙන පැරණි බැමිවල අනතුරුදායකභාවයක් තිබෙනවාද මේ තත්ත්වයම සමනල වැව ආශ්‍රිතව ද පවතින බවත්, සමනල වැව වේල්ලට යටින් පවුල් 2000 ක් පමණ ජීවත්වන බවත්, එබැවින් ඒ ජනතාවගේ ජීවිත සහ කොළඹ නගරයේ ජීවිත පිළිබඳ කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය විය. අදාළ සියලු ආයතන එක්රැස් වී වේලි ආරක්ෂණය පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.

කොළඹ නගරය විටින් විට ජලයෙන් යට වී ජලය පිටාර ගැලීම පිළිබඳ ප්‍රශ්නය ද ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් වූ අතර, එහිදී පෙනී ගිය කරුණක් වූයේ කොළඹ නගර සභාව සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව අතර විධිමත් ආකාරයේ සම්බන්ධීකරණයක් නොමැති බව ය. මුල් අවස්ථාවේ හඳුනාගත් මූලික ව්‍යාපෘති 15, දැන් 20 දක්වා වැඩි වී ඇති නමුත්, ඉන් 2015-19 කාලය තුළ මහා නගර අමාත්‍යාංශය මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 6 ක් හැරෙන්නට පසුගිය වසර තුනක කාලය තුළ, වෙනත් කිසිදු ව්‍යාපෘතියක් කොළඹ මහනගර සභාවට සිදු කිරීමට නොහැකි වී ඇති බව මෙහිදී අනාවරණය විය. එබැවින් පිටාර ජලය ඇතිවීම වැළැක්වීම සඳහා, අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කරන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් කොළඹ මහ නගර සභා නිලධාරීන්ට නිර්දේශ කළ අතර, ඒ සම්බන්ධව විටින් විට විමර්ශනයක් සිදු කිරීමට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව බලාපොරොත්තු වන බව ද, ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම, අදාළ ඉතිරි ව්‍යාපෘති සම්බන්ධයෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනත් සමඟ සාකච්ඡා කිරීමට කොළඹ මහ නගර සභා නිලධාරීන් යොමු කිරීමට ද, කමිටු සභාපතිවරයා විසින් කටයුතු කරන ලදී.එමෙන්ම, කොළඹ නගරය වැසි ජලයෙන් යට වීම වැලැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව කොළඹ නගර සභාව වෙත නිර්දේශ කළේය.

 

මෙම කාරක සභා රැස්වීම සඳහා රාජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන්, සංජීව එදිරිමාන්න, ජේ.සී. අලවතුවල, ජයන්ත සමරවීර, කපිල අතුකෝරල හා බී.වයි.ජී රත්නසේකර යන මහත්වරුන් ද එක්ව සිටියහ.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website