සිකුරාදා, 19 ජනවාරි 2024 09:30

සීනි ගොලුවන්ට මුදල් කමිටුවෙන් දොස් Featured

සීනි වංචාවෙන් නැතිවූ මුදල් අදාළ සමාගම්වලින් නැවත අය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය.

මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශයට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

සීනි වංචාවෙන් අපේක්ෂිත අය කර ගැනීම් හා ප්‍රමාදයන් පිළිබඳව සතියක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද කමිටුව උපදෙස් දී ඇත.

සීනි ආනයනය සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සියයට 99.5කින් අඩුකර තිබියදීත් අදාල බලධාරීන් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳවද කාරක සභාවේදී ප්‍රශ්න කෙරිණ. පාරිභෝගික භාණ්ඩ සඳහා බදු අඩු කිරීම හේතුවෙන් ඇතැම් විශාල සමාගම් වලට අසාධාරණ ලෙස ප්‍රතිලාභ ලබාගැනීම වැළැක්වීමට කිසිදු පියවරක් ක්‍රියාත්මක කර නොමැති බව කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය.

මේ ආකාරයට පාරිභෝගික ජනතාවගෙන් රුපියල් කෝටි තුන්දාහක් අය කර ගැනීමට කටයුතු කළ සමාගම්වලට වගකීමෙන් තොරව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය කාරක සභාවේ දැඩි විවේචනයට ලක්විය.

එක්සත් ජනපද සුරැකුම්පතා විනිමය කොමිෂන් සභාව ක්‍රිප්ටො මුදල් මෑතකදී පිළිගත් ආයෝජන වත්කම් ලෙස අනුමත කර ඇති බව කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ පිළිබඳ දැනුවත් වීමක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කරන බවත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහුමෙහිදී පැවසූහ.

එමෙන්ම විධිමත් මාධ්‍යයන්ගෙන් තොරව රුපියල් ඩොලර් වලට හුවමාරු කිරීමට අවසර නොමැති බවත් මුදල් හුවමාරුව සහ ආයෝජනය සඳහා නිල නොවන මාර්ග අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව විමර්ශනය කරන බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 16 වැනිදා රැස්විය.මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

(සුජිත් හේවාජුලිගේ )

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website