සිකුරාදා, 26 ජනවාරි 2024 09:57

අධ්‍යාපන කේෂ්ත්‍රයේ බරපතළ මූල්‍ය වංචාවක් ගැන තතු එළියට Featured

සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපාකාර සකසුරුවම් සහ ණය දෙන සමිතිය තුළ බරපතළ මූල්‍ය වංචා රැසක් සිදුව ඇති බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සේවා සංගමය පවසයි.

එහි සභාපති රොෂාන් ප්‍රියශාන් මහතා සඳහන් කළේ, මෙම මූල්‍ය චංචාවන්ට වගකිව යුත්තන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවය.

"මේ වනවිට අධ්‍යාපන සම්පකාරයේ ඉතාම බරපතළ විදියේ මුල්‍ය වංචාවන් ගණනාවක් සිදුවෙලා තියෙනවා. ඒකේ පළමුවෙනි කාරණය තමයි ගොඩනැගිලි ඉදිකිරීමේ දී මේ වනවිට කෝටි 5කට අධික මුදලක් ඉතාමත්ම අවිධිමත්ව වියදම් කිරීම. ඒක සම්බන්ධයෙන් අපි යම් යම් පරීක්ෂණ ඉල්ලා සිටියත් සම්පකාර කොමසාරිස්වරයා ඒක සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ක්‍රියාමාර්ගයක් ගන්න මේ දක්වා සුදානමක් නෑ. දෙවැනි කාරණය තමා පරිගණක මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී එක පරිගණකයක්වත් ගේන්නේ නැතුව ඒ වෙනුවෙන් සම්පූර්ණ මුදල ගෙවලා තියෙනවා. මේ කාරණා සම්බන්ධයෙන් දැනුවත් වීම කළා. නමුත් සමූපකාර කොමසාරිස්වරිය මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම මුනිවත රකිනවා. මේකේ බරපතළ තත්ත්වය තමා මේක පාලනය කරන්නේ අතුරුපාලක මණ්ඩලයක්. ඒකේ සමහර අය සහ මේ වෙලාවේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා මේ වංචාවල ප්‍රධාන වගකීමක් දරනවා. ණය ගෙවා ගන්න බැරි තරම් බංකොළොත් තත්ත්වයකට ඇවිල්ලා."

අධ්‍යාපන සේවානියුක්තිකයින්ගේ සමූපාකාර සකසුරුවම් සහ ණයදෙන සමිතිය ප්‍රධාන කාර්යාලය පරිගණක ගත කිරීම සඳහා රුපියල් මිලියන 96ක ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් කිසිදු පරිගණක ගත කිරීමක් සිදුනොකර අදියර දෙකක් යටතේ දැනට පවතින පාලක මණ්ඩලයේ බලධාරීන් විසින් රුපියල් මිලියන 55ක මුදලක් ගෙවා ඇති බවට ද වාර්තා වේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පරිගණක උපදේශන සමාගම වෙත මෙම මුදල් ලබා දී ඇති බව වාර්තා වේ.

අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව ගෙවීම් සිදුකිරීමට අදාළ අනුමැතිය ලබා දී ඇති බව සඳහන්ය.

තවද අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපාකාර සකසුරුවම් සහ ණයදෙන සමිතිය ප්‍රධාන ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට බව පවසමින් රුපියල් මිලියන 69ක් ගෙවා ඇති අතර ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු අතරමැද නතර කර දමා ඇති බවද වාර්තා වේ.

මෙම මූල්‍ය අක්‍රමිකතා සඳහා තමා කිසිදු සම්බන්ධයක් නොමැති බැවින් මෙම කටයුතු සඳහා පාලක මණ්ඩලයේ නිලධාරීන් වගකීම භාර ගතයුතු බව සමූපාකාර කොමසාරිස් ආශා හපුආරච්චි මහත්මිය සඳහන් කළාය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ, අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපාකාර සකසුරුවම් සහ ණයදෙන සමිතිය මූල්‍ය අක්‍රමිකතාවන්ට දේශපාලන මැදිහත්වීම් හේතු වී ඇති බවය.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website