බ්‍රහස්පතින්දා, 15 පෙබරවාරි 2024 08:48

රජයේ ඉඩම් බදු පදනම යටතේ පෞද්. අංශයට ජනපති යෝජනාවට කැබිනට් අනුමැතිය Featured

දුම්රිය ඉඩම් ‘ස්ටේෂන් ප්ලාසා’ ලෙස නගර නිර්මාණයට

රාජ්‍ය වැවිලි සංස්ථාවට සහ වතු සංවර්ධන මණ්ඩලය සතු වගා නොකරන ඉඩම් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ට හා ආයෝජකයන්ට දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබාදීමට රජය තීරණය කර තිබේ. රට තුළ නිෂ්පාදන ආර්ථිකය වේගවත් කිරීමේ ශක්‍යතාවක් සහිත ව්‍යවසායකයන් හා ආයෝජකයන් මේ සඳහා තෝරා ගැනෙන අතර මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (13) පැවසීය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව වැනි රජයේ වැවිලි ආයතන සතු විශාල ඉඩම් ප්‍රමාණයක් නීතිමය ගැටලු, ආයතනික ගැටුම්, ප්‍රාග්ධන හිඟය යනාදි විවිධ හේතුන් මත දීර්ඝ කාලයක් තිස්සේ වගාවකින් හෝ ඵලදායී භාවිතයකින් තොරව පවතින බව 2023 සහ 2024 වර්ෂයන් සඳහා වූ අය-වැය කතාවන්හිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වාදී තිබේ. එවැනි විශාල පරිමාණයේ ඉඩම් හා ඌන උපයෝජිත ඉඩම් අපනයනය කළ හැකි භෝග වගා කිරීම, අපනයනය සඳහා පශු සම්පත් ගොවිපොළ ඇති කිරීම සහ වෙනත් අපනයනය කළ හැකි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා විභවතාවන් සහිත තෝරාගනු ලබන ආයෝජකයන් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ සඳහා දේශීය ව්‍යවසායකයන් සම්බන්ධ කර ගනිමින් සමාජයට බහුවිධ ප්‍රතිලාභ අත්වන අයුරින් එකී ඉඩම් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමට රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යාංශය විසින් වැවිලි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් සකස් කරනු ලැබ ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන ඉඩම්වල ස්ටේෂන් ප්ලාසා ලෙස නගර නිර්මාණයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවත් හෝටල්, සුපිරි වෙළෙඳසල්, කර්මාන්ත ශාලා ඉදිකිරීමට සහ කෘෂිකාර්මික කටයුතු සඳහා යෝජනා පැමිණියහොත් දිගුකාලීන බදු පදනම යටතේ ඉඩම් ඵලදායීව ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම කීවේය.

නුවන් කොඩිකාර

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website