ඉරිදා, 25 පෙබරවාරි 2024 09:46

ණය කන්ද බිලියන විසිඅට දහට නගී Featured

එක් අයෙක් ලක්‍ෂ 12.5ක් ණයයි

රජය දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය 2023 වසරේ ඔක්තෝබර් වන විට රුපියල් බිලියන විසිඅටදහස් අනූහතරයි දශම හයයි නවයක් (28094.69ක්) බවත් ඒ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් දොළොස්ලක්‍ෂ හැටපන්දහසකට (12,65,000 කට) ආසන්න වී ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා කියා සිටී.

මේ අනුව හතරදෙනකුගෙන් යුත් පවුලක් වෙනුවෙන් රජය ලබා ගන්නා ලද ණය ප්‍රමාණය රුපියල් පනස්ලක්‍ෂ හැටදහසකට (50,60,000කට) වැඩි වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය 2020 වසර වන විට පැවතුණේ රුපියල් හය ලක්‍ෂ අනූදහසකට (690,000) ආසන්න ප්‍රමාණයකි. එය 2021 වසර වන විට රුපියල් ලක්ෂ 08 ඉක්මවා තිබුණි. එහෙත් පසුගිය වසර තුනක කාලයේ දී එම මුදල දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

රටේ මුළු ණය ප්‍රමාණය ගැන සලකා බැලූ විට එය පැවතුණේ රුපියල් බිලියන 13,031ක් වශයෙනි. 2020 වසර වන විට එය බිලියන 15,117 දක්වා වැඩිවී තිබුණු අතර 2021 වසර වන විට රුපියල් බිලියන 17,614 දක්වා වර්ධනය වී ඇත. 2022 වසර වන විට රුපියල් බිලියන 27,492 දක්වා වර්ධනය වී ඇත.

ඒ අනුව පෙනී යන්නේ 2019 වසර වන විට රජය එක් පුද්ගලයකු වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 598,000ක් බවය. 2020 වසර වන විට 690,000 දක්වාත් 2021 වසර වන විට 795,000 දක්වාත් එය වැඩිවී ඇත. මේ කාලයේ දී ඒක පුද්ගල ණය ප්‍රමාණය වැඩිවී ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයකිනි. එනම් වර්ෂයකට වැඩි වී ඇත්තේ රුපියල් ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයකිනි. නමුත් 2022 සහ 2023 වර්ෂ දෙක සලකා බැලූවිට ශීඝ්‍රයෙන් වර්ධනය වීමක් දක්නට පුළුවන.

මෙයට අමතරව රජය ජනතාව වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය ලක්ෂ 50 ඉක්මවන අතරේ ජනතාව ද තනි වශයෙන් මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ඇත. ඊට අමතරව රත්තරන් බඩු උකස් තැබීම ද විශාල වශයෙන් සිදුකර ඇත. මේ වන විට බොහෝ ජනතාව ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද වැඩිදුරටත් වසන්ත අතුකෝරල පැවසීය.

සමීර කන්නන්ගර

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website