ඉරිදා, 25 පෙබරවාරි 2024 09:59

පොඩි ව්‍යාපාර කුඩුවෙන්නම සයිබර් ප්‍රහාර Featured

ආසියානු කලාපයේ අපි දැඩි අවදානමක

ලොව පුරා සිදුවන සයිබර් ප්‍රහාර වැඩි වශයෙන් ආසියා සහ පැසිෆික් කලාපයේ මේ වන විට සිදු වන බැවින් මෙරට ව්‍යාපාර බිඳවැට්ටවීමට සයිබර් ප්‍රහාර වැඩිපුර සිදුවීමේ දැඩි අවදානමක් ඇතැයි දේශීය කුඩා ව්‍යාපාර හිමියන්ගෙන් සියයට 70ක පමණ පිරිසක් ආසියානු පදනම වෙත තොරතුරු වාර්තා කර ඇත.

මෙකී අවදානම මෙම වසර (2024) වන විට තවත් දැඩි වනු ඇතැයි පෙන්වා දෙන එම ව්‍යාපාර හිමියෝ පසුගිය වසර කිහිපයේ දී කලාපයේ කුඩා ව්‍යාපාරවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට එකදු හෝ සයිබර් ප්‍රහාරයකට මුහුණ දෙන්නට සිදුව ඇතැයි ද සඳහන් කරති.

පරිගණකයකට, සේවාදායකයකුට, පරිගණක ජාලයකට හෝ යටිතල ව්‍යූහයකට හානි කිරීමට නිර්මාණය කරන ‘මල් වෙයාර් ඇටෑක්’ සයිබර් අවකාශයෙහි මේ වන විට වැඩිපුර සිදු වෙමින් පවතින බවද පෙන්වා දෙන ඔවුහු ඒ තුළ ව්‍යාපාරවල ඉදිරි මෙහෙයුම්වලට තර්ජනයක් වී ආදායම් අහිමි කර ව්‍යාපාරයේ ගෞරව නාමයට ද අහිතකර ලෙස බලපානු ඇතැයි පවසති.

මෙම තත්ත්වය මත සයිබර් අවකාශයේ මෙරට ව්‍යාපාරවලට එල්ල කළ හැකි බලපෑම්වලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ආසියානු පදනම ආයතනය කියා සිටියි.

එහිදී ගූගල් ආයතනයෙහි ද සහාය ඇතිව ආසියා පැසිෆික් සයිබර් ආරක්ෂක අරමුදල හරහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව එහි ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

මෙම විශේෂ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, පාකිස්තානය, පිලිපීනය, සිංගප්පූරුව, තායිවානය, වියට්නාමය යන රටවල් 13 පුරා සිදු කෙරෙන අතර ව්‍යාපාර ඩිජිටල් අවදානම්වලින් ආරක්ෂා කිරීම ඇතුළු සයිබර් ආරක්ෂණ වැඩමුළු මගින් ව්‍යාපාර ප්‍රජාව සහ සිසුන් සන්නද්ධ කිරීම සිදු කෙරේ.

මේ අතර කලාපයේ යම් අයුරකින් එකවර සයිබර් ප්‍රහාරයකට අමතරව න්‍යෂ්ටික ප්‍රහාරයක් ඇතිවුවහොත් ඉන් ඇති වන විකිරණශීලී තත්ත්වයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත මෙරට පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් කණ්ඩායමක් දන්වා ඇත. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත සහ අවශ්‍ය උපකරණ තමන් සතු බව එම නිලධාරීන් පවසා තිබේ.

අදාළ බලධාරීන් එලෙස දැනුවත් කර ඇත්තේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා (20දා) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

අකිත පෙරේරා

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website