සිකුරාදා, 15 මාර්තු 2024 08:53

වී මිලට ගන්න ජනපති අණින් මණ්ඩලයට කෝටි 50ක් Featured

වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් කෝටි 50ක මුදලක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (13) තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

මේ අනුව වී මිලදී ගැනීම සඳහා හම්බන්තොට, මොනරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කරුණෑගල, වවුනියාව, කිලිනොච්චිය හා අනුරාධපුර දිස්ත්‍රික්ක 9ක ගඩබා 12ක් අද (15) සිට විවෘතව තැබෙන බවත් ඇමැතිවරයා කීවේය.

වී ලැබෙන කවර අවස්ථාවක වුව මිල දී ගැනීමට හැකියාව ලැබෙන සේ තවත් ගබඩා 100ක් සූදානම් කර තැබීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් ඇමැතිවරයා කීවේය.

පාදුක්ක තරුණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් ඊයේ (14) පැවැති උත්සවයේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

ඒ අනුව කච්චිගල් ආර, වීරවිල, දෙහිගහලන්ද, යෝධකණ්ඩිය, අලුත්වැව, වීරගොඩ, සූරංගල්, මනල්පෙඩ්ඩි, නිකවැරටිය 02, කිලිනොච්චිය, පාර්ක් රෝඩ්, කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය හා නොච්චියාගම වී ගබඩා හෙට සිට විවෘතව තැබෙනු ඇත.

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 02ක මුදලක් ඉල්ලමින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ සම්බන්ධව කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. එම නිසා ගොවි භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 250ක මුදලක් ලබාගෙන එමඟින් වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් ආරම්භ කර තිබිණි. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් වී මිල දී ගැනීමට කිසිදු සහයෝගයක් ලබා නොදුන්නද ජනාධිපතිතුමන් පෙරේදා (13) ඍජුවම මෙම කටයුත්තට සම්බන්ධ වූ බවත් ඒ අනුව රුපියල් කෝටි 50ක් ඒ සඳහා ලබා දීමට තීරණය කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රජය විසින් වී මිල දී ගැනීමේ අවශ්‍යතාව තමා ජනාධිපතිතුමන්ට පැහැදිලි කළ බවත් තම ඉල්ලීමට සාවධානව ඇහුම්කන් දුන් ජනාධිපතිතුමන් මෙම මූල්‍ය ප්‍රතිපාදන වහාම ලබාදීමට තීරණය කළ බවත් ඇමැති අමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

ඒ අනුව රජය විසින් පනවන ලද උපරිම මිල යටතේ තෙතමනය සියයට 14 මට්ටමක ඇති නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 105ක් සම්බා කිලෝව රුපියල් 120ක් සහ කීරි සම්බා කිලෝව රුපියල් 130ක්, තෙතමනය සියයට 14ට වඩා වැඩි නාඩු වී කිලෝව රුපියල් 90ක් සම්බා කිලෝව රුපියල් 100ක් සහ කීරි සම්බා කිලෝව රුපියල් 120ක් වශයෙන් වී අස්වනු මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය මඟින් සිදු කරනු ඇත.

ගොවි භාරකාර අරමුදලෙන් ලබා ගත් රුපියල් මිලියන 100ක ණය මුදල යොදවමින් පසුගියදා (11) සිට වී අලෙවි මණ්ඩලය මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ රතු නාඩු වී තොග මිල දී ගැනීම ආරම්භ කළ අතර පසුගියදා (12) වන විට වී කිලෝග්‍රෑම් 75,000ක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට හැකි වී ඇත.

DMN

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website