මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ නිරතවූවන් සමඟ පැවැති සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළුවලට විසඳුම් ලබා දෙමින් එම ක්ෂේත්රයේ නිරතවූවන්ට සහන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ මොහොතේ බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කළ නොහැකි නමුත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම දායකත්වයෙන් මෙම ගැටළු විසඳා ගැනීමට අදාළ යෝජනාවලියක් සකස් කර සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ නිරතවූවන් සමඟ ඉකුත් (15)දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට බලපා ඇති රජයේ නව බදු ප්‍රතිපත්ති පිළිබඳ ගැටළු ඇතුළු කර්මාන්තය ආශ්රිත මතුව ඇති වෙනත් ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට මැණික් කර්මාන්තය ආශ්රිත අපනයනය වැඩි කිරීමට මෙන්ම අගය එකතු කිරීම් කෙරෙහිද අවධානය යොමු කළ යුතු බවයි. එමෙන්ම ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ අනුව එම ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බවද සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කළ හැකිදැයි විමසා බැලීම සඳහා සමීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර නොගන්නට මෙවන් මාතෘකාවන් පිළිබඳව මේ අයුරින් හෝ කතා කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි. ජන ජිවිතය පවා දැඩි අවධානමකට ලක්ව තිබූ අවස්ථාවක රටේ වගකීම භාරගත් ජනාධිපතිතුමා අද රට තුළ සිදු කර ඇති පරිවර්තනය පිළිබඳ තමා සතුටට පත්වන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහු සහ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
DN