සිකුරාදා, 05 අප්‍රේල් 2024 09:22

බී ළුණු අර්තාපල් ආනයනයෙන් අධි ලාභ ලැබූ ආනයනකරුවන්ගේ ලැයිස්තුවක් කැදවයි.. Featured

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරයේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දෙවන රැස්වීම පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූයේ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි.

විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට විදුලි වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ දී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද වෝහාරික විගණනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් පළමුව කාරක සභාව විසින් සාකච්ඡාවට ලක් කෙරිණ.

ඒ සඳහා ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් කැඳවා තිබිණ.

විගණකාධිපතිවරයා විසින් පවත්වනු ලබන වෝහාරික විගණනය අවසන් වන තෙක් විදේශයන්හි සේවයේ නියතු ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීම දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය අත්හිටුවන ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දෙනු ලැබිණ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු එකතු කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීමේ සාකච්ඡාව සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් කැඳවා තිබිණ. මෙහිදී ක්‍රම හා හ විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පහත කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නේය.

 • එකතු කළ හැකි හිඟ බදු රු බිලියන 188 අය කර ගැනීම සඳහා දේශීය ආදායම් පනත අනුව වහාම ක්‍රියාමාර්ග ගැනීම (දේපළ/ වත්කම් අත්පත් කර ගැනීම වැනි)
• නෛතික ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් රඳවා ගත් බදු වසර 3ක් ඇතුලත අය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා බදු අභියාචනා සංඛ්‍යාව 2ක් දක්වා අඩු කිරීම (අභියාචනාධිකරණයෙන් හා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බදු අභියාචනා විභාග කිරීමේ බලය ඉවත් කිරීම
• කෝටියට වැඩි බදු පැහැර හැරි තැනැත්තන්/ ආයතන නාම ලේඛනය සතියක් ඇතුලත කාරක සභාව වෙත ලබා දීම
• ආදායම් ‍පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (RAMIS) පවත්වා ගෙන යාම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් මගින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් ස්ථාපිත කිරීම
• ආදායම් ‍පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට (RAMIS) අදාළව අත්සන් කරන ලද ගිවිසුමේ තොරතුරු තෙවන පාර්ශවයකට ලබා දිය හැකිද යන්න පිළිබඳ නීතිපති මතය කාරක සභාව වෙත ලබා දීම
• වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා බදු ලිපිගොනු විවෘත කිරීම වෙනුවට මාසයකට රු. ලක්ෂයට වඩා ආදායමක් උපයන පුද්ගලයන් පිළිබඳ දත්ත (ලක්ෂ 25) ඩිජිටල් වේදිකාවකට ගැනීම

 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිලෝවක වෙළෙඳපොළ මිල සහ ආනයනික මිල අතර විෂමතාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ආනයන අපනයන පාලන දෙපාර්තම්න්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය යන රාජ්‍ය ආයතන නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබිණ.

2018 වසරේ සිට 2023 වසර දක්වා ආනයනික ආහාර ද්‍රව්‍ය පිළිබඳ ආනයන දත්ත විශ්ලේෂණ වාර්තාව සම්බන්ධයෙන් ඇතිවූ සාකච්ඡාව මෙහිදී ඉදිරියට ගෙන යන ලද අතර, මෙම ආහාර ද්‍රව්‍යවලට අදාළ ආනයන දත්ත, වෙළෙඳපොළ මිල සහ දේශීය නිෂ්පාදන දත්ත ශ්‍රී ලංකා රේගුව (ASYCUDA පද්ධතිය), ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් ලබාගෙන තිබිණ.

2018 වසරේ සිට රජය විසින් ආනයනික භාණ්ඩ මත පනවන ලද බදු ආදායමේ අඛණ්ඩ පහත වැටීමකට මුහුණ පා සිටින අතර, අමෙරිකානු ඩොලරයේ අගයට අනුරූපව ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පනවනු ලැබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද (SCL) නොගැලපීම මීට හේතු වී ඇති බව අනාවරණය විය. මෙම භාණ්ඩ මිල දි ගැනීම සඳහා අධික මුදලක් වැය වන බැවින් පාරිභෝගිකයන්ට මෙමගින් ප්‍රතිලාභ ලැබී නොමැති නමුත්, මෙම ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් වෙළෙන්දන් සැලකිය යුතු ලාභයක් ලබා ඇති අතර, එම ලාභය වෙළෙඳපොළ මිල මත පදනම්ව එක් කිලෝවකට රු. 100-1000 අතර වී ඇති බව අනාවරණය විය.

 2023 අවසාන කාර්තුවේ දී ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූ නමුත් පාරිභෝගිකයින්ට මෙයින් ප්‍රතිලාභයක් නොලැබුණු අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා මහජන නොසන්සුන්තාවක් ද ඇතිව තිබෙන බවත්, ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සලකා බැලීමට අමතරව, මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වය සහ යෝග්‍යතාව තක්සේරු කිරීමේ වැදගත්කම ද කාරක සභාවේ මේ රැස්වීමේ දී අනාවරණය කෙරුණු අතර, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල නියාමනය කිරීම පාරිභෝගික කටයුතු අධිකාරියේ වගකීම බව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

ඉහත කරුණු මත පදනම්ව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක වෙළෙඳපොළ මිල සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැනවීමෙන් පසු රේගුවෙන් භාණ්ඩ නිදහස් කරන මිල අතර පවතින දැඩි විෂමතාව මෙහිදි සාකච්ඡා කරන ලදී.

මෙහිදී කාරක සභා සභාපතිවරයා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සම්බන්ධ ඉහත වාර්තාව සතිපතා කාරක සභාව වෙත සම්පාදනය කරන ලෙසය. ඒ සඳහා විනිමය අනුපාත, බහාලුම් හා රක්ෂණ පිරිවැය, බද්ද, ආයෝජනය ආදී තොරතුරු ඇතුලත් කරන ලෙස ද ඔහු විසින් උපදෙස් ලබා දෙන ලදී

 රේගුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් වු පිරිවැය සළකා, වෙළෙඳපොළ සිල්ලර මිල, තොග මිල සැසඳීමක් සිදු කර ආනයනකරුවන් ලබා ගන්නා අයුතු ලාභයක් වේ නම් ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා පාරිභෝගික සේවා අධිකාරිය වෙත දැනුම් දුන්නේය.

2525 කාණ්ඩයේ භාණ්ඩ ආනයනය කරන ආනයනකරුවන්ගෙන් එකතු කළ අගය මත බදු (VAT) අය කර ගත හැකි පරිදි ඔවුන් විධිමත් පරිදි ලියාපදිංචි කිරීම සහ 7000 කාණ්ඩය යටතේ භාණ්ඩ ආනයන ක්‍රියාවලිය විධිමත් කිරීමේ වැදගත්කම දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත අවධාරණය කළ සභාපතිවරයා, 2018 සිට 2023 දක්වා කාලය තුළ ආනයනකරුවන් විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී උපයන ලද අයුතු ලාභ සඳහා දේශීය ආදායම් පනතට අනුව බදු අය කර ගැනීමට (super gain tax) හා එහි ප්‍රගතිය මේ මාසයේ අග වන විට කාරක සභාවට වාර්තා කරන ලෙස ද උපදෙස් ලබා දුන්නේය.

ආනයනික ආහාර ද්‍රව්‍යවල ආනයනික වටිනාකම හා වෙළෙඳපොළ මිල පිළිබඳ ඩිජිටල් පුවරු, වෙබ් අඩවි හරහා පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ අවශ්‍යතාව, හා රජයේ ප්‍රතිපත්ති තීරණවලින් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල නියාමනය කිරීමේ අවශ්‍යතාව මෙහිදි නැවත අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා, ආනයනකරුවන්ගේ ලැයිස්තුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දුන්නේය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා කාරක සභාවේ ප්‍රකාශ වු කරුණු ප්‍රකාරව අවශ්‍ය නිර්ණායක හඳුනාගෙන මිල සූත්‍රයක් හා පිරිවැය සැකැස්මක් (Cost Structure) සකස් කරන ලෙසත්, එම පිරිවැය සැකැස්ම අනුව භාණඩ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙසද නියෝග කළ සභාපතිවරයා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසු ඇති විය හැකි භාණ්ඩ හිඟය වැලැක්වීම සඳහා ගත හැකි පියවර සොයා බලා තීරණය කිරීම ද පාරිභෝගික සේවා අධිකාරියේ වගකීමක් බව ද, අවධාරණය කළේය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික සේවා අධිකාරිය මගින් දැනට අත්හිටුවා ඇති බැවින් එය නැවත ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත් විය යුතු බව අවධාරණය කෙරිණ.

 උත්සව සමයේ පාරිභෝගික ගසා කෑම් උපරිමයට ළඟා වීමේ අවදානම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය මැදිහත් වීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගෙන් මිලදී ගැනීම වෙනුවට වෙළඳ අමාත්‍යාංශය විසින් සෘජුව ආනයනය කර පාරිභෝගිකයා වෙත ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද උපදෙස් ලබා දුන් අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල රේගුවෙන් නිදහස් කළ මිල, වෙළඳපොල මිල හා උපරිම සිල්ලර මිල ආදී තොරතුරු වෙබ් අඩවි, ජංගම යෙදුමක් හා fb වැනි සමාජ මාධ්‍ය හරහා ජනතාව වෙත දැනුම් දීම සඳහා කාරක සභාව විසින් මග පෙන්වනු ලබන බව ද ප්‍රකාශ විය.

මෙම කාරක සභා රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි හා අනුරාධ ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්.ඩී. ජේ සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපාබණ්ඩාර, ශාන්ත බණ්ඩාර, ජයරත්න හේරත්, චන්දිම වීරක්කොඩි, අලි සහීර් මවුලානා, අසංක නවරත්න, ගාමිණී වලේබොඩ, වීරසුමන වීරසිංහ, යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website