බ්‍රහස්පතින්දා, 02 මැයි 2024 10:51

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මාර්තුවේ මිලියන ගණනක ආදායමක් Featured

2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

පොල් සංවර්ධන අධිකාරිය විසින් පොල් ආශ්‍රිත නිෂ්පාදන හා අපනයනය මගින් ලබන ආදායම් පිළිබඳ නිකුත් කරන මාසික වාර්තාවේ මේ බව සඳහන් කරයි. 2024 මාර්තු මාසය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය පිළිබද වාර්තාව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලැබීය.

ඒ අනුව 2024 මාර්තු මාසයේ දී උද්‍යාන වගාව සඳහා මෙරටින් අපනයනය කරන ලද කොහුබත් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38,065කි. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 5725කි. 2023 මාර්තු මාසය හා සසඳන විට මෙම ප්‍රමාණය සියයට 29ක වර්ධනයක් වේ.

පොල් කටු සක්‍රිය කළ කාබන් අපනයනය 2023 වරරට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 5,707ක් අපනයනය කිරීම මගින් 2024 මාර්තු මාසයේ උපයා ඇති ආදායම රුපියල් මිලියන 4,430කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 32ක ඉහළ යාමකි.

එමෙන්ම පොල් කිරි අපනයනය මගින් පසුගිය මාර්තු මාසයේ දී රුපියල් මිලියන 3122ක මුදලක් උපයා තිබේ. මාර්තු මාසය තුළ අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7,059කි. එය 2023 මාර්තු මාසයට සාපේක්ෂව සියයට 49ක ඉහළ යාමක් බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

දිසිදි පොල් අපනයනය මගින් මාර්තු මාසයේ දී උපයා ඇති ආදායම රුපියල් මිලියන 2,378කි. එම මාසය තුළ අපනයනය කරන ලද දිසිදි පොල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3592කි. එහි වර්ධනය සියයට 30කි.

මීට අමතරව පිටි කළ පොල් කිරි අපනයනය ද පසුගිය මාසයේ ඉහළ ගොස් ඇත. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 1587කි. අපනයනය කරන ලද පිටි කළ පොල් කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1153ක් වන අතර එය 2023 මාර්තු මාසය හා සසඳන කළ සියයට 93ක වර්ධනයකි.

පොල් ක්‍රීම් අපනයනය ද පසුගිය මාර්තු මාසයේ දී ඉහළ ගොස් තිබේ. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 1,390කි. අපනයනය කරන ලද පොල් ක්‍රීම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,619කි. එම ප්‍රමාණය 2023 මාර්තු මාසය හා සසඳන විට සියයට 88ක වර්ධනයක් පෙන්නුම් කරයි.

එසේම පොල් තෙල් අපනයනය ද ඉහළ ගොස් ඇති අතර එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 539කි. පොල්තෙල් මෙට්‍රික් ටොන් 767ක් අපනයනය කර ඇති අතර එහි වර්ධනය 2023 මාර්තු මාසයට සාපේක්ෂව සියයට 84කි.

සමස්තයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න ඉහළ යාම මත අපනයනය ද ඉහළ ගොස් ඇති බව බව පවසන පොල් සංවර්ධන අධිකාරිය මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඉහළ යාම මගින් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකිවීම මෙරට ලැබු ජයග්‍රහණයක් බව සඳහන් කරයි.

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website