බදාදා, 08 මැයි 2024 14:43

වීසා සමාගමේ ආදායම ඩොලර් මිලියන 75ක්.. Featured

විදේශිකයින් සඳහා ගුවන්තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අගමන විගමන පාලකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

අදාල ලිපිය මෙසේය.

 

ආගමන විගමන පාලක,
ආගමන විගමන දෙපාර්තමේන්තුව,
බත්තරමුල්ල.

 

ගරු මැතිතුමනි,

 

නීති විරෝධී ආකාරයට විදේශිකයින් සඳහා ගුවන්තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලික ඉන්දියානු සමාගමකට පැවරීමේ වරද පිළිබඳව

 

පසුගිය මැයි 01 වැනිදා කටුනායක ගුවන් තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය තුළ ඇති වූ ප‍්‍රමාදය නිසා පැන නැගුණු විරෝධය තුළින් ආගමික විගමන දෙපාර්තමේන්තුව විසින් එසේ වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලිකම ඉන්දියානු සමාගමකට පවරා ඇති බව රටට එළිදරව් විය. නමුත් ජාතික ආරක්ෂාවට පවා ප‍්‍රබල බලපෑමක් ඇති කරන එවැනි රාජ්‍ය වගකීමක් පුද්ගලීකරණය කෙරෙන බවට කිසිදු වගකිවයුත්තකු විසින් රටේ ජනතාව දැනුවත් කර තිබුණේ නැත.

 

ඊට පෙර 2012 සිට ක‍්‍රියාත්මක කරනු ලැබූ මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක‍්‍රමවේදය සහ පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඔබගේ අධීක්ෂණය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය. එම නිලධාරීන් විසින් එම වගකීම මැනවින් ඉටුකළ බව සහ ඒ පිළිබඳව දේශීය හෝ විදේශීය කිසිදු පුද්ගලයෙකු විසින් විරෝධතා දැක්වීමක් සිදුකර නොමැති බව ඔබ ඉතා හොඳින් දන්නා කරුණකි.

 

ඒ ආකාරයට රාජ්‍යය විසින් ඉටු කළ යුතු වගකීමක් පුද්ගලික අංශයට පැවරීම මගින් ජාතික ආරක්ෂාව අනතුරට ලක් කිරීමට අමතරව ඒ මගින් සංචාරකයින් අධෛර්මත් කිරීමක් ද සිදුවන බව ඉතා පැහැදිලිය. එම ක‍්‍රියාවලිය තුළ වීසා නිකුත් කිරීමේ පටිපාටිය සංකීර්ණ වීම සහ අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවීම නිසාම එසේ සංචාරකයින් අධෛර්යමත් වීම සිදුවන බව ඔබට ඉතා හොඳින් තේරුම් ගත හැක. ඒ අනුව දළ වශයෙන් එක් වීසා බලපත‍්‍රයක් සඳහා ඇමරිකානු ඩොලර් 25කට අධික අමතර පිරිවැයක් දැරීමට සංචාරකයාට සිදුවන බව ඔබ පිළිගන්නවා ඇත. එම මුදල් රජයට නොලැබෙන අතර ආණ්ඩුවේ ඉලක්කවලට අනුව වාර්ෂිකව දළ වශයෙන් සංචාරකින් මිලියන 3ක් රටට පැමිණියහොත් එම සරල සේවාව සැපයීම මගින් අදාළ සමාගම උපයාගන්නා ආදායම ඩොලර් මිලියන 75ක් වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ එසේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව එනම් ප‍්‍රසම්පාදන පටිපාටියට විරුද්ධව එම පුද්ගලික සමාගමට අදාළ වගකීම පැවරීම මගින් අදාළ ක‍්‍රියාවලියට ආශිර්වාදය ලබා දුන් පිරිසකට අයුතු ප‍්‍රතිලාභයක් ලැබෙන බවට එල්ල වන චෝදනා සාධාරණීකරනය වන බවද ඔබ පිළිගන්නවා ඇත.

 

කෙසේ වෙතත් දැනට පවතින නීතිය යටතේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට යටත්ව හෝ ඒ ආකාරයට වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලික සමාගමට පැවරීමට ඔබට බලයක් නැති බව ඉතා පැහැදිලිය. ඊට අමතරව මෙම ක‍්‍රියාවලියට අදාළව පත් කරනු ලැබූ කමිටුවක් මගින් පවතින නීතිය සංශෝධනය කිරීමකින් තොරව එවැනි පුද්ගලීකරණය කිරීමක් සිදුකළ නොහැකි බවට මතයක් ප‍්‍රකාශ කළ බව ජනමාධ්‍ය මගින් හෙළිදරව් විය. එසේ නම් ඔබ විසින් අනුමැතිය ලබා දුන් ක‍්‍රියාවලිය නීති විරෝධී බවට ඔබට ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුය.

 

යම් රටවල් වීසා අයදුම් පත‍්‍ර සකස් කිරීමේ ක‍්‍රියාවලිය අදාළ ඉන්දියානු සම්භවයක් සහිත සමාගමට පවරා ඇතත් වීසා නිකුත් කිරීමේ බලය සහ ආගමන විගමන තොරතුරු පද්ධතියට ඇතුල්වීමේ බලය ලබාදී නොමැත. ඒ අනුව ඔබ විසින් අනුමැතිය ලබාදී ඇති ක‍්‍රියාවලිය කිසිසේත්ම සාධාරණිකරණය කිරීමට හැකියාවක් නැත. ඊට අමතරව මෙම තීන්දුව යම් බලපෑමක් මත කඩිනම් කිරීමට සිදුවූවාද යන්න පිළිබඳව සැකයක් මතුවේ. ඊට හේතුව ඔබගේ ආයතනයේ වෙබ් අඩවිය මගින් ප‍්‍රකාශයට පත් කර තිබූ ආකාරයට චීනය, ඉන්දියාව, රුසියාව, ජපානය ආදී රටවල් කිහිපයක සංචාරකයින්ට 2024 මැයි 31 දා දක්වා ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කරන බව ප‍්‍රසිද්ධියට පත්කිරීමය.

 

අවසාන වශයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් නීති විරෝධී තීන්දුවක් ඔබ මත පැටවීමට උත්සාහ කරන අවස්ථාවක අදාළ ක‍්‍රියාවලිය නීතියට අනුකූල නොවන බව පෙන්වාදීම ඔබගේ අවම යුතුකමක් බව ඔබ පිළිගන්නවා ඇත. ඒ අනුව ජාතික ආරක්ෂාව අනතුරට පත්වන තීන්දුවක් නීති විරෝධීව ක‍්‍රියාත්මක කිරීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවෙන් ඔබට ගැලවිය නොහැකි බව ඔබ පිළිගන්නවා ඇත. එසේම වගකිවයුතු රට වැසියන් ලෙස එවැනි ක‍්‍රියාවන් ඉවසා සිටීම බලවත් වරදක් බවද ඔබ පිළිගන්නවා ඇත. එම පිළිගැනීමට අනුව ඔබගේ නීති විරෝධී පරිපාලන තීන්දුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදාළව අප සංවිධානය විසින් නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවද ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමු.

 

පුද්ගලිකව ඔබට නීතිමය බැඳීමෙන් සහ හෘද සාක්ෂියේ පීඩාවෙන් ගැලවිය හැක්කේ මහජන යහපත සඳහා සද්භාවයෙන් යුතුව අදාළ තොරතුරු එළිදරව් කිරීමෙන් පමණක් බව අපගේ පිළිගැනීම වේ. බොහෝ රටවල එසේ මහජන යහපත පිණිස තොරතුරු එළිදරව් කරන සහ කණගාටුව ප‍්‍රකාශ කරන ඉහළ රාජ්‍යය නිලධාරීන්ට නීතිය මඟින් සමාව ලැබේ. අවසානයේදී අප රටේ එවැනි නීතියක් සම්මත කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමේ හැකියාව දැන් ඔබට ලැබී ඇත.

 

එම නිසා පනත් මගින් ඔබට ලැබී ඇති බලතල අනුව ඔබ විසින් අනුමත කරනු ලැබූ අත්තනෝමතික තීන්දුව අත්හිටුවන ලෙස සහ ඔබට එවැනි නීති විරෝධී තීන්දුවක් ගැනීමට සිදුවූයේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව තොරතුරු මහජනයාට එළිදරව් කරන ලෙස අපි ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

 

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ප‍්‍රධාන ලේකම්,
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website