බදාදා, 15 මැයි 2024 09:57

නව කෘෂි ව්‍යාපාරයක් ඇති කරමින් ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙන යනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ Featured

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවත්,

නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (14) පෙරවරුවේ එක් වෙමිනි.

වැවිලි ක්ෂේත්‍රයට අවශ්‍ය නව නිපුණතාවලින් හෙබි උපාධිධාරීන් බිහි කිරීම වෙනුවෙන් සහ තරුණ තරුණියන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ස්ථාපිත කර තිබේ. උපාධි අපේක්ෂකයන් සඳහා පර්යේෂණාගාර, දේශන ශාලා, පරිගණක විද්‍යාගාර හා වෘත්තීය උපදේශන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර, කෘත්‍රිම බුද්ධිය (AI) හා GIS තාක්ෂණය යොදාගැනීමට අවශ්‍ය මධ්‍යස්ථානයක්ද මෙහි ස්ථාපිත කිරීමට නියමිතය. මේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැඟිල්ල ඉදිකිරීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 750කි.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය. මේ අවස්ථාවට සහභාගි වීම වෙනුවෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා:

“වැවිලි කර්මාන්තය සඳහා පුහුණු ආයතනයක අවශ්‍යතාව තිබුණේ 1978 වසරේ සිටයි. එදා එම්.ඩී.එච්. ජයවර්ධන මහතාගේ ආසනය වන මේ ප්‍රදේශයේ මෙවැනි පුහුණු ආයතනයක් ඇති කිරීමට අවශ්‍ය ඉඩම දුන්නා. එදා මේ ප්‍රදේශය මේ තරම් නාගරිකකරණය වී තිබුණේ නැහැ. මේ ආයතනය ස්ථාපිත කිරීමට 2016 වසරේ වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ලෙස නවීන් දිසානායක මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඉදිකිරීම් ආරම්භ කළා. ඉන් පසුව පත් වූ වැවිලි කර්මාන්ත අමාත්‍යවරුන් මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආවා. මේ ආයතනය දියුණු කරන අතරම මෙහි එක් මණ්ඩපයක් වැවිලි කලාපයට ගෙන යෑම අතිශය කාලෝචිත බව කිව යුතුයි. මහනුවර, මාතලේ වැනි ප්‍රධාන බෝග සියල්ල වගා කෙරෙන දිස්ත්‍රික්කයක මෙහි මණ්ඩපයක් විවෘත කිරීම ඉතා වැදගත් වෙනවා. මට මතකයි මේ ක්ෂේත්‍රයේ කටයුතු කළ මගේ මිත්‍රයන්ට පුහුණුව ලැබීමට නුවරඑළියට යෑමට සිදු වුණා.

“අපේ කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමේදී මෙවැනි ආයතන තවදුරටත් ව්‍යාප්ත කළ යුතුයි. රටේ කඩාවැටුණු ආර්ථිකය අද යළි ගොඩනැඟෙමින් තිබෙනවා. මේ තත්ත්වයට පත් වීමට අපට අවස්ථාව ලැබුණේ කෘෂිකර්මාන්තය නිසයි. මා රට භාර ගනිද්දී රටේ කෘෂි නිෂ්පාදනයක් සිදු වුණේ නැහැ. ඒ වගේම යුරෝපා ආර්ථිකයත් පහත බැස තිබූ නිසා අපේ ඇඟලුම් කර්මාන්තයට අපනයන අවස්ථා තිබුණේ නැහැ. ඒ නිසා පළමුව අප මෙරට වී වගාව දියුණු කිරීමට කටයුතු කළා. 2022, 2023 යන වසරවල යල කන්න සහ 2023 වසරේ මහ කන්නය සාර්ථක වීම නිසා මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට අපට අවස්ථාව ලැබුණා. ඒ අනුව කෘෂිකර්මය නිසා මූලික වශයෙන් රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට හැකි වු බව කිව යුතු වෙනවා.

“මෙරට ආර්ථිකය අපනයන ආර්ථකයක් බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. මෙරට අපනයන ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් පෙරේදා (13) කැබිනට් මණ්ඩලයේදී අනුමත කළා. දැන් අප මේ වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි. ඓතිහාසිකවම අපේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්ව තිබුණා. සිංහල රජ සමයේ ධාන්‍ය වර්ග වගා කළා. ඒ වගේම තෙත් කලාපයේ කුළුබඩු වගා කළා. සුදු ජාතිකයන් පැමිණීමෙන් පසු තේ, පොල්, රබර් වගා කළා. එහෙත් නිදහසින් පසු අප රටක් ලෙස එතනින් ඉදිරියට ගියේ නැහැ.

“නිදහසින් පසු සිදු වුණේ ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කළ වැඩපිළිවෙළ යටතේ අප සහලින් ස්වයංපෝෂිතවීම පමණයි. දැන් අප කටයුතු කරන්නේ රට තුළ කෘෂිකර්ම නවීකරණයක් සිදු කර අපනයන කෘෂි කර්මාන්තයක් ඇති කිරීමටයි. තේ, රබර්, පොල් මෙරට ප්‍රධාන අපනයන භෝග බවට පත්ව තිබුණා. එහෙත් සුදු ජාතිකයන් පන්නා දමා අප වතු අත්පත් කරගැනීමෙන් පසුව ඔවුන් කෙන්යාවට ගොස් තේ වගා කර දැන් අපට තරගයක් ලබා දී තිබෙනවා. වියට්නාමයේ රබර් වගා කර අප රට සමඟ තරග කරනවා. දැන් අපට අවශ්‍ය වතු හා වැවිලි කර්මාන්ත නොවෙයි, කෘෂි ව්‍යාපාරයක්. අපේ වතු කෘෂි ව්‍යාපාර බවට පත්කර නිෂ්පාදන ඉහළ නංවා ගත යුතුයි. තේ, රබර් භෝග වගාවන් දියුණු කළ යුතුයි. ඒ සඳහා වන වෙළෙඳපොළ ජය ගත යුතුයි. අද අපේ තේ කර්මාන්තය විවිධාංගීකරණය වෙලා තිබෙනවා. සමාගම් රැසක් එහි සාර්ථකව කටයුතු කරනවා. අප මෙරට සම්ප්‍රදායික බෝග වගාව දියුණු කළයුතුයි. කොකෝවා, කුරුඳු ඇතුළු අනෙකුත් කුළු බඩු ද නැවත වගා කළයුතුයි.

“ඒ වගේම නව භෝගවලට යොමු විය යුතුයි. එහිදී පළමුව නව තාක්ෂණික කළමනාකරණය මේ ක්ෂේත්‍රයට ගෙන ආ යුතුයි. දෙවනුව කුඩා වතු හිමියන්ද මේ නවීකරණ වැඩපිළිවෙළ සමඟ එක් කර ගනිමින් එම නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුයි. ග්‍රාමීය ජනතාව අතර දුප්පත්කම නැති කළ හැක්කේ කෘෂිකර්මාන්තයේ දියුණුව තුළින් පමණයි. ඒ නිසා අප දැනට තිබෙන බෝගවලින් සහ භූමියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මෙන්ම නව ඉඩම් අක්කර ලක්ෂ 05ක වගා කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා අපට නවීන කෘෂිකර්මාන්තයක් සහ නවීන කෘෂි ව්‍යාපාරයක් අවශ්‍යයි. කෘෂිකර්මාන්තය මෙරට ප්‍රධාන අපනයන අංශයක් බවට පත් කළයුතුයි. ඉදිරියේ දී ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින රටවල ජනගහනය බිලියන ගණනින් වැඩි වන බවට පුරෝකථනය කර තිබෙනවා. එම වැඩි වන ලෝක ජනගහණයට අවශ්‍ය ආහාර වෙළෙඳපොළට සැපයීම සඳහා අප සුදානම් විය යුතුයි. එසේ නම් පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට අලුත් කෘෂි ව්‍යාපාරයක් ඇති කරමින් අප රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන ආ යුතුයි. මෙහිදී අදාළ ආයතන අතර තිබෙන බාධක සියල්ල නව නීතියකින් ඉවත් කර සියලු දෙනා එකට වැඩකරන පරිසරයක් ඇති කිරිමට බලාපොරොත්තු වෙනවා.”

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර, සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක මහත්වන්ද මෙහිදී අදහස් දැක්වූ අතර, ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, රජ්‍ය ඇමැතිවරුන් වන ඩී.බී. හේරත්, කාදර් මස්තාන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සභාපති පුෂ්පික සමරකෝන් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website