බදාදා, 15 මැයි 2024 09:59

මෙරටට පැමිණෙන සෑම සංචාරකයකුටම තේ සිහිවටනයක් Featured

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයකුම සිය සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ගුවන්තොටුපොළේදී ලබා දීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් යෝජනා කර ඇත. Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වේ.

මෙම වැඩපිළිවෙළ රජය මෙන්ම පෞද්ගලික අංශයේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ වැවිලිකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් හා තේ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සමඟ ඇමැති අමරවීර මහතා පෙරේදා (13) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට සංචාරය නිමවා ආපසු ගුවන්තොටුපොළෙන් නික්ම යන අවස්ථාවේදී මෙම සිහිවටනය ලබා දීමේ යෝජනාව සඳහා පුද්ගලික තේ කර්මාන්තකරුවන් ද සිය එකඟත්වය පළ කර ඇති අතර ඒ සඳහා දායකවීමට සූදානම් බව ඇමැති අමරවීර මහතාට දැනුම් දී තිබේ.

මේ සඳහා වැයවන මුදල තේ මණ්ඩලය හා පෞද්ගලික අංශය විසින් දැරීමට නියමිත අතර මේ වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන අතර ඔවුන්ගෙන් විශාල පිරිසක් තේ කර්මාන්තශාලා මෙන්ම තේ වතු නැරඹීම සඳහා පැමිණේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ තේ පානය සඳහා ද සංචාරකයෝ විශාල උනන්දුවක් දක්වති. මේ නිසා සංචාරකයන් අතර අප රටේ තේ පිළිබඳ උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

බුද්ධිකා ඉඹුලාන

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website