බ්‍රහස්පතින්දා, 06 ජූනි 2024 09:50

පාසල් පද්ධතියට පොකුරු පාසල් 1,220ක් – ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි Featured

පාසල් පරීක්ෂාවට-ගුරුවරු අධීක්ෂණයට පාසල් මණ්ඩල 350ක්

අධ්‍යාපන පරිපාලනය ප්‍රතිසංස්කරණයට කැබිනට් අනුමැතිය

අධ්‍යාපන පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ඇමැති මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ මත පදනම්ව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පාසල් වර්ගීකරණය කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒකක 09ක් පළාත් 09 තුළ ස්ථාපිත කිරීම, කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව විද්‍යාත්මක හා ප්‍රමුඛතා අනුපිළිවෙළක් මත පදනම්ව 100 සිට 122 දක්වා අදියර වශයෙන් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජය් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පාසල් සුපරීක්ෂණය, ගුරුවරු අධීක්ෂණය සහ පාසල් පාදක ඇගැයීම්වල වලංගුතාව තහවුරු කිරීම අරමුණු කර ගනිමින් දැනට පවතින කොට්ඨාස අධ්‍යාපන කාර්යල 314 ද ඇතුළත් කර ගනිමින් පාසල් මණ්ඩල 350ක් ස්ථාපිත කිරීම, තෝරාගත් ද්විතීයික පාසල් එකක් හෝ කිහිපයක් ප්‍රමුඛ පාසල් ලෙස නම් කරමින් එක් පොකුරක් පාසල් 8 සිට 12ක් පමණ වන සංඛ්‍යාවකින් සමන්විත වන පරිදි සමස්ත පාසල් පද්ධතිය පාසල් පොකුරු 1,220කට ඇතුළත් කිරීම, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සහ ගුරු උපදේශක සේවය සඳහා අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ද අනුමැතිය හිමි වූ බව හෙතෙම කීවේය.

රටේ සෑම ශිෂ්‍යයකුටම සම ප්‍රවේශ අවස්ථා සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කරගෙන, “වසර 2048දී පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක්” යන දැක්මට අනුකූලව සකස් කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2023-2033 මඟින් අධ්‍යාපනයේ සිදු විය යුතු පරිවර්තනීය වෙනස පිළිබඳ කරුණු ඉදිරිපත් කරනු ලැබ ඇති බව ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව, දීර්ඝකාලීන ඉගෙනුම් ක්‍රමවේදයක් තහවුරු කිරීම සඳහා ආයතනික ව්‍යුහය, විෂයමාලා හා ඇගැයීම් ක්‍රමවේදය තුළ නව පරිවර්තනයක් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති බව ගුණවර්ධන මහතා කීවේය.

 

නුවන් කොඩිකාර

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website