අඟහරුවාදා, 11 ජූනි 2024 10:59

කොළඹ ඝණ අපද්‍රව්‍ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් Featured

කොළඹ අගනගර ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත් අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් කොළඹ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සරත් බණ්ඩාර මහතා පවසයි.

ව්‍යාපෘතියේ පෙරහුරු පරීක්ෂණ ද මේ වන විට ක්‍රියාත්මකයි. මෙම පෙරහුරු පරීක්ෂණ ආරම්භ කෙරුණේ පසුගිය 05 වන දා සිටයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2014 වසරේ දී එවකට පැවති ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගිනි. දිනෙන් දින ඉහළ යන ඉහළ යන කොළඹ නාගරික ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුව විසදීමේ අරමුණින් පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ තිබූ හුණුගල් කඩා ඉවත් කර අතහැර දමන ලද වලවල් ආශ්‍රිතව සනීපාරක්ෂක කසල රදවනයක් සහ අපදියර ප්‍රතිකර්ම පද්ධතියක් ඇතුළු අනෙකුත් පහසුකම් ඉදිකිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙත පැවරී තිබිණි. කැලණිය හා පුත්තලම කසල හුවමාරු මධ්‍යස්ථාන 02 ක් ඉදිකිරීම හා ඊට අදාල දුම්රිය යටිතල පහසුකම් හා මාර්ග පද්ධතිය ඉදිකිරීම මේ යටතේ සිදුවිය.

මෙම ව්‍යාපෘතිය මුලින් ම සැලසුම් කෙරුණේ කොළඹ අගනගරය ආශ්‍රිතව ජනනය වන කසල මෙට්‍රික් ටොන් 1200 ක් කැළණිය කසල හුවමාරු මධ්‍යස්ථානය වෙත රැගෙන විත් එහිදී සම්පීඩනයට ලක්කර බහලුම් පෙට්ටිවල අසුරා දුම්රිය මගින් ප්‍රවාහනය කර අරුවක්කාලුවලදී සනීපාරක්ෂක ලෙස බැහැර කිරීම සදහායි. එහෙත් මේ වන විට බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන මගින් බැහැර කෙරෙන අවශේෂ කසල සියල්ල සනීපාරක්ෂක ලෙස බැහැර කිරීමට හැකිවන පරිදි මෙම පහසුකම් ඉදිකෙරිණ.

ව්‍යාපෘතියේ මුලු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 130 කි. කැලණිය හුවමාරු මධ්‍යස්ථානයේ සිට අරුවක්කාලු කසල හුවමාරු මධ්‍යස්ථානය දක්වා දුම්රිය මගින් කසල ප්‍රවාහනය කිරීමට දුම්රිය එංජින් 04 ක් ආනයනය කර ඇත. ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන තුරු එම එංජින් මගී ප්‍රවාහනයට යොදාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දී ඇත. කසල ප්‍රවාහනය සදහා අවශ්‍ය බහාලුම් පෙට්ටි 94 ක් මිලදීගෙන තිබේ. කැලණිය සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය සදහා අවශ්‍ය දුම්රිය ගැල් 17 ක් අලුත්වැඩියා කර ලබා දී තිබේ.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ව්‍යපෘතියේ කොන්ත්‍රාත්කරුවන් විසින් මාස 03 ක කාලයක් සදහා කාර්මිකයින් පුහුණු කිරීම, කසල එකතු කිරීමේ අංගනයේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම සිදුකරයි. අරුවක්කාලු කසල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකළේ චීන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ සවුත්වෙස්ට් මියුනිසිපල් ඉංජිනියරින් ඇන්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට් ඔෆ් චයිනා සමාගම විසිනි. මේ වන විට අක්කර 140 ක් වන අරුවක්කාලු කසල රදවන මධ්‍යස්ථානයේ සහ අක්කර 20 ක් වන වනවාසල කසල හුවමාරු මධ්‍යස්ථානයේ ද වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇත.

ඒ අනුව ව්‍යාපෘතිය පසුගිය මාර්තු 31 වන දින වන විට අවසන් කෙරිණි. කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුධය හේතුවෙන් ව්‍යාපෘතිය වසරකට අධික කාලයක් නතර කෙරිණ. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය යලි ආරම්භ කෙරුණි. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සදහා වෙන් කෙරුනු මුදල රුපියල් මිලියන 5,500 කි. ව්‍යාපෘතිය ක්‍රියාකරවන්නන් පුහුණු කිරීම මේ දිනවල සිදුකෙරේ. එම පුහුණුව හා පෙරහුරු පරීක්ෂණ අවසන් වූ වහා ම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා කියයි. මේ සදහා නව ආයෝජකයන් තිදෙනෙකු ඉදිරිපත්ව තිබේ. ඉන් එක් ආයෝජකයෙකු තෝරාගැනීම සදහා වන යෝජනාව ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව අධ්‍යක්ෂවරයා කියයි.

DMN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website