සිකුරාදා, 02 අගෝස්තු 2024 10:16

සියලු පාසල් දරු-දැරි­යන්ට සුරක්ෂා රක්ෂ­ණය Featured

නේවා­සික ප්‍රති­කාර සඳහා ලක්ෂ 3ක්

සියලු රජයේ පාසල්, රජයේ අනු­මත සියලු පෞද්ග­ලික පාසල්, පිරි­වෙන් සහ උප­කෘත විශේ­ෂිත පාස­ල්වල අධ්‍යා­ප­නය ලබන සිසු සිසු­වි­යන් වෙනු­වෙන් වසර තුනක කාල­යක් සඳහා සුරක්ෂා සිසු රක්ෂ­ණය ඊයේ (01) සිට ලබා­දී­මට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන තිබේ.

රුපි­යල් මිලි­යන 7112ක (කෝටි 711.2) මුද­ලක් ආයෝ­ජ­නය කර­මින් සුරක්ෂා රක්ෂ­ණා­ව­ර­ණය සිසුන් වෙනු­වෙන් ලබා­දී­මට කට­යුතු කළ බව ඊට අදාළ ගිවි­සුම් අත්සන් කිරීමේ අව­ස්ථා­වට ඊයේ (01) එක්වෙ­මින් අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා පැව­සීය.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක්ව සුරක්ෂා සිසු රක්ෂ­ණා­ව­ර­ණය ක්‍රියා­ත්මක කරන අතර අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය වෙනු­වෙන් අමා­ත්‍යාංශ ලේකම් තිලකා ජය­සු­න්දර මහ­ත්මිය ගිවි­සු­මට අත්සන් තැබීය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනු­වෙන් එහි ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරි ප්‍රියන්ත පෙරේරා මහතා අත්සන් තැබීය.

මෙම රක්ෂ­ණා­ව­ර­ණය මඟින් රජයේ හෝ පෞද්ග­ලික රෝහල් නේවා­සික ප්‍රති­කාර සඳහා ප්‍රති­ලාභ ලෙස රුපි­යල් ලක්ෂ 3ක් ද බාහිර ප්‍රති­කාර සඳහා ප්‍රති­ලාභ වශ­යෙන් රුපි­යල් 20,000ක් සහ අසාධ්‍ය රෝග ප්‍රති­ලාභ ලෙස රුපි­යල් 1,500,000ක් ද ලබා­දීම සිදු කරන්නේ යැයි ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

අන­තුරු රක්ෂ­ණා­ව­රණ මඟින් පූර්ණ සදා­කා­ලික අක­ර්ම­ණ්‍ය­තා­ව­කදී රුපි­යල් 200,000ක් ද සදා­කා­ලික අර්ධ අක­ර්ම­ණ්‍ය­තා­ව­කදී රුපි­යල් 150,000ක් ද තාව­කා­ලික අක­ර්ම­ණ්‍ය­තා­ව­කදී රුපි­යල් 25,000 සිට 100,000 දක්වා ද ප්‍රති­ලාභ හිමි වන බව ද ඇමැ­ති­ව­රයා කීය.

ජීවිත රක්ෂ­ණා­ව­ර­ණය යටතේ වාර්ෂික ආදා­යම රුපි­යල් 180,000කට වඩා අඩු ආදා­ය­ම්ලාභී පවු­ල්වල සිසුන්ට අම­ත­රව ‘අස්වැ­සුම’ වැඩ­ස­ට­හ­නට අයත් පවු­ල්වල සිසුන්ගේ මවු­පිය, නීත්‍ය­නු­කූල භාර­කරු වියෝ­ව­කදී සිසු දරු­වකු සඳහා රුපි­යල් 75,000 බැගින් ද එක් මර­ණ­යක් වෙනු­වෙන් වෙන් කරන උප­රිම මුදල රුපි­යල් 225,000ක් වන බව ද ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය.

පවුලේ සියලු සිසුන් අතර එම මුදල සමා­නව වෙන් කරන බවත් මවු­පි­යන් දෙදෙ­නා­ගේම හෝ නීත්‍ය­නු­කූල භාර­ක­රුගේ මරණ සඳහා වෙන් වෙන් වශ­යෙන් මෙම රක්ෂ­ණා­ව­ර­ණය හිමි වන බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

පාසල් සිසුන්ට මෙම රක්ෂ­ණා­ව­ර­ණය සඳහා නොමිලේ කාඩ්ප­තක් හිමි වන අතර මෙම රක්ෂ­ණා­ව­ර­ණය ඩිජි­ට­ල්ක­ර­ණය කර තිබීම ද විශේ­ෂ­ත්ව­යකි.

DN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website